දූෂිතයන් යෝජනාවටවත් නොගනිමු

දූෂිතයන් යෝජනාවටවත් නොගනිමු

දේශපාලනය නොගෑවුණු තැනක් නැති බව වඩාත් නිර්වචනාත්මකව කීවේ ඇරිස්ටෝටල්ය. මිනිසා දේශපාලන සත්ත්වයකු බවත් එයින් විනිර්මුක්තව සිටිය හැක්කේ තිරිසන් සතුන්ට සහ දෙවියන්ට පමණක් බවත් ඔහු කීවේය.

තිඹිරිගෙයින් පටන්ගෙන සුසානය තෙක් දිවෙන ජීවිත මාවතේ සකලවිධ කාරණා අරබයා දේශපාලනය මැදිහත් වෙයි. එය එතරම්ම ජීවිත හා වෙළී පවතී.

දේශපාලන ක්‍රියාන්විතයේ 'නියෝජනය' යන්න සුවිශේෂ සංසිද්ධියකි. රටක සිටින සියලු දෙනාට පාර්ලිමේන්තු යා නොහැකි නිසා ඒ ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කරගෙන නියෝජිතයන් පත්කර යවයි. ඔවුන් එකී නියෝජිත කාර්ය නිසි පරිදි ඉටු කරතැයි ජනතාව විශ්වාස කරයි.

එහෙත් සාතිශය බහුතරයක් නියෝජිතයන් එකී බලාපොරොත්තුව හුදු පාපන්දුවක් බවට පත් කර ගත් අත්දැකීම් මෙරට පුරවැසියා සතුව පවතී.

නිදහසින් පසු මෙරට දේශපාලනය ඉතා වේගයෙන් අගාධය කරා පල්ලම් බසින්නට වූ අතර කාලානුරූපීව එය ධනෝත්පාදන මාර්ගයක් බවටත් දූෂණයේ මර්මස්ථානයක් බවටත් පරිවර්තනය විය. බලය විසින් මිනිසා දූෂණය කරනවාය යන්නට කදිම නිදර්ශන මෙරට දේශපාලනයෙන් ඇති පදම් සොයා ගත හැකිය.

දූෂිත, පසුගාමී, භීෂණ දේශපාලන සංස්කෘතියක් තිළිණ ලෙස උරුම වූ රටක හරවත් පරිවර්තනයක් අපේක්ෂා කළ නොහැක.

බොහෝ දෙනා සිය දේශපාලන නායකයා ඇදහිල්ලක් බවට පත් කර ගනිති. බොහෝ ඇදහිලි කල්ලි නායකයන් විසින් ලබා ගන්නා දේ සමාන වන්නේ කුඩා දරුවකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක සැරිසරන රටාවටය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මොහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩනංවා ගනී. එමතු නොව සර්වබලධාරීත්වය පිළිබඳ හැඟීමකින් ඔහු ඔද වැඩෙයි. බෝනික්කන් එහෙ මෙහෙ කරමින් ඔහු ඔහුගේ අණ පිළිපදී. ඔවුහු තම වචන ඔහුටම ආපසු කියති. දරුවා ක්‍රීඩා භාණ්ඩ එහා මෙහා කරමින් සතුටු වන්නේ කෙසේද ඇදහිලි කල්ලි නායකයාද තම අණට අකීකරු වන අය එහා මෙහා කරයි; මෙහෙයවයි; නටවයි; බනියි. නැතිනම් ඇතැම් විටෙක මරා දමයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයා ඊට පහළ නියෝජිතායතනවලට ස්වකීය අන්තේවාසිකයන්, හෙංචයියන් ඔසවා තැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ.

ශිෂ්ටසම්පන්න දේශපාලනයක් පිළිබඳව මෙලොව හසරක් නොදන්නා ඔවුහු එය 'සොකරි මඩුවක්' බවට පත් කර ගනිති. 'පොල්ලෙලි වුණත් දිනනවාය' යනුවෙන් මහජන පරමාධිපත්‍ය සහ සර්වජන ඡන්ද බලයේ වටිනාකම වැසිකිළි කානුවට විසිකොට කතා කළ දේශපාලනඥයන් සිටින රටක ප්‍රශස්ත නියෝජිතයන් පත් වීම සහ පත්කොට එවීම සිහිනයක් පමණි.

'ඔබට සතුරන් නොමැති නම් ඔබට මහා නායකයෙක් වෙන්න බැහැ. ඔබට සතුරන් නැතත් ඔබේ රට අනතුරක යන ව්‍යාජය ගොඩනඟන්න. මොකද මිනිස්සු බියට පත් වුණාම ඔවුන් කැමතියි වහලුන් බවට පත් වෙන්න. මිනිස්සු බියට පත් වුණාම ඔවුන් සූදානම් දේශපාලනඥයන් අනුගමනය කරන්න...'

කියා හිට්ලර් පවසා තිබේ. මහජන දේපළ හොරා කන දූෂිතයකු තරමටම සමාජය බියපත් කරන ත්‍රස්තවාදී දේශපාලකයා දූෂිතය.

දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා නොදෙන ලෙස ඉල්ලා නොසිටින කිසිවකු මේ රටේ නැත.

එහෙත් බොහෝ විට එය ප්‍රායෝගිකව ඉටු වන්නේ නැත. ස්වකීය වත්කම් සහ බැරකම් පිළිබඳව හරිහැටි හෙළිදරව් කරන මහජන නියෝජිතයන් සොයා ගැනීම උගහටය.

අනෙක් අතට බොහෝ මහජන නියෝජිතයෝ ඒ ඒ රජයන් හා ව්‍යාපාර කරති.

ඉදිරි මැතිවරණවලදී තරග කරන සියලු දෙනාගේ නාම යෝජනාව සමඟ තමන්ට හෝ තම පවුලේ සාමාජිකයන්ට රජය හා ව්‍යාපාරික ගනුදෙනු තිබේද යන්න ගැන දිවුරුම් ප්‍රකාශ දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

එය අතිශයින් අගය කළ යුතු තීන්දුවකි.

මාතෘකා