හොරකම ලියාපදිංචි වීම

හොරකම ලියාපදිංචි වීම

හොරකම, වංචාව හා දූෂණය නැති කිරීම ජනප්‍රිය මාතෘකාවකි. මැතිවරණ සමයෙහිදී මේ ගැන වැඩිපුර ඇසෙයි. ඉන් පසු නිහඬ වෙයි. බලය ලබා ගැනීමට උත්සාහ කරන්නෝ මෙය නිතර ජප කරති. බලය ලබා ගැනීමෙන් පසුව එය අමතක වෙයි. බලය අහිමි වී විපක්ෂයට ගිය පසු නැවත ඒ මන්තරය මතක් වෙයි. මේ අන්දමින් හොරකම, දූෂණය හා වංචාව නැති කිරීම චක්‍රීය ගමනක යෙදෙයි. එහෙත් ඒවා නැති වූ බවක් නොපෙනේ. නැති වූවා නම් සටන්පාඨද නවතිනු නිසැකය.

මේ කරුණු නැවත සිහිපත් කරනුයේ රෙජිස්ටාර් ජනරාල්වරයා කළ ප්‍රකාශයකට ඌන පූරණයක් සපයනු පිණිසය.

ශ්‍රී ලංකාවේ භාවිත වන උප්පැන්න සහතිකවලින් සියයට 17-20 අතර ප්‍රමාණයක් හොර උප්පැන්න බව ඔහු අනාවරණය කරයි. මීට අමතරව විවාහ සහතිකවලින් සියයට 13ක්ද, මරණ සහතිකවලින් සියයට 11ක්ද, ඉඩම් ඔප්පුවලින් සියයට 42ක්ද හොරට සකස්කරන ලද ඒවා බව මීට පෙර අනාවරණය වී ඇත. මෙය භයානක තත්වයකි. සංඛ්‍යාත්මක දත්ත නැතත් විභාග සහතිකද හොරට මුද්‍රණය කෙරෙන බව වරින් වර කෙරෙන වැටලීම් අනුව අනාවරණය වේ. මෙහි සමස්ත චිත්‍රය බියකරුය. එනම් වයස් භේදයකින් තොරව අපේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් හොර සහතික නීත්‍යනුකුල අයුරින් භාවිතයට ගන්නා බවය.

මුද්දර ගාස්තු සඳහා රු. ලක්ෂ 100ක් ගෙවිය යුතු පුද්ගලයන් රු.25,000ක් හෝ 5,000ක් ගෙවා පැයකින් ඉඩම් ඔප්පු ලබා ගන්නා ක්‍රමවේදයක් මෙරට පවතින බව මීට පෙර අනාවරණය කළේ විෂයබාර ඇමතිවරයාය. උදේ පටන් රාත්‍රිය වන තුරුත් බණ පිරිත් හා පන්සිල් විද්‍යුත් මාධ්‍යයෙන් තොරතෝංචියක් නැතිව විකාශය වන රටක හොරකම සමාජ ලක්ෂණයක් වීම අප ගැනම අප ලැජ්ජාවට පත් විය යුතු කරුණකි.

හොර උප්පැන්න සකස් කිරීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණක් වී ඇත්තේ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ මාරක සටනයි. හොර සහතික සකස් කිරීමේ සූරයන් වී සිටින නීතිඥවරුන්ද සිටීම ඉහළ වෘතිකයන්ගේ වෘත්තීය මට්ටම ඇද වැටී තිබෙන තැන ගැන හැඟීමක් ඇති කරවයි.

මේ අක්‍රමිකතාව දුරු කිරීම සඳහා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නව ක්‍රමයක් අනුගමනය කිරීමට යයි.

මෑතකදී හොර උප්පැන්න සහ හොර පාස්පෝට් පිළිබඳ කතාව නැවත වරක් ප්‍රකට වූයේ දේශප්‍රේමියකු ලෙස ප්‍රසිද්ධ විමල් වීරවංශ හා ඔහුගේ බිරිය මුහුණ දෙන නඩුවක් ඔස්සේය. දේශපාලන හා සමාජ බලය ඇති පුද්ගලයන් තම වංචා වසා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර කූට ලේඛන සකස් කරගැනීම අසෝබන සම්ප්‍රදායකි. ඔවුන් එසේ කරන විට ඔවුන්ගේ අනුගාමිකයන් හා වහලුන් කෙසේ කරනු ඇති දැයි සිතාගත හැකිය. මෙය රටේ කීර්ති නාමයටද කැළැලකි.

කූට ලේඛන සකස් කිරීම දෙයාකාරයකින් සිදු වේ. ඉන් පළමුවැන්න අල්ලස් ගැනීම ඔස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන ක්‍රියාවලියයි. දෙවැන්න කූට ලේඛන සකස් කරන යටිබිම්ගත ක්‍රියාවලියයි. රාජ්‍යයෙන් බැහැරව කෙරෙන මෙය දියත් වන්නේ වංචනික පුද්ගලයන් මාර්ගයෙනි. විභාග සහතිකද රාජ්‍ය ආයතනවල ව්‍යාජ මුද්‍රා සහිත ලේඛනද ඔවුන් විසින් මුදලට නිකුත් කරනු ලැබේ. මේ ඇතැම් ලේඛන ව්‍යාජ ඒවා බව තහවුරු කරගැනීමද අසීරුය.

මේවා මැඩලීම සඳහා බාධාවකින් හා බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන පද්ධතිය දුබල වූ විට වංචාකරුවන්ට බේරී සිටිය හැකිය.

ලේඛන වර්ග නවීන තාක්ෂණයෙන් නිකුත් කිරීම එක් පිළිතුරක් පමණි. තාක්ෂණය යනු ගැලවීමේ එකම මඟ නොවිය හැකිය. තාක්ෂණය චෞරයන් අතටද පත් වන මෙවලමකි.

හොරකමට, වංචාවට අනුබල දෙන පරිසරයක් නිමාණය වී ඇත්තේ මුළු මහත් ආයතන පද්ධතියම ගරාවැටීම හේතුවෙනි. දේශපාලන බලය ඇති අය චෞරයන් ආරක්ෂා කිරීම දිගුකලක පටන් පැවත එන සම්ප්‍රදායකි. වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගෙන දේශපාලන හා සමාජ බලපෑම්වලට යටත් නොවී කටයුතු කරන නිලධාරීහු පළිගැනීමට ලක්වෙති. උසස්වීම් ප්‍රමාද වෙයි. ස්ථාන මාරුද ලැබෙයි.

එනිසා මේ ගැටලුව ජයගැනීමට පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ.

මාතෘකා