මුස්ලිම් විවාහ නීති සංශෝධනය හා සමාජ ගැටලු

මුස්ලිම් විවාහ නීති සංශෝධනය හා සමාජ ගැටලු

විවාහ නීති සංශෝධනය කිරීම සඳහා ඉස්ලාමික මහජන නියෝජිතයන්ගේ කැමැත්ත පළ වී තිබීම මේ දිනවල සිත් ඇදගන්නාසුලු මාතෘකාවකි. එම එකඟතාවට අනුව වයස අවුරුදු 18ට අඩු විවාහ තහනම් කිරීමට යෝජිතය. විවාහයේදී බාරකරුවා වෙනුවට විවාහ වන කාන්තාවද අත්සන් කළ යුතු බව, කාති අධිකරණය මගින් දික්කසාද නඩු විභාග කිරීමේදී පිරිමි මහෙස්ත්‍රාත්වරුන්ට අමතරව මහෙස්ත්‍රාත්වරියන්ද සම්බන්ධ කරගත යුතු බව ඇතුළු තවත් කරුණු 11ක් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙයි.

මෙය ඉතා හොඳ ප්‍රවේශයකි. වාර්ගික ආතතීන් පාලනය කිරීම සඳහාද මෙය පිටුබලයක් වනු නිසැකය.

ලංකාවේ දික්කසාද ගැටලුවලදී සාමාන්‍ය (රෝම ලන්දේසි) නීතිය, උඩරට නීතිය හා මුස්ලිම් නීතිය යටතේද තේසවලාමේ නීතියට අනුගත වූවන් සඳහා එම නීතිය යටතේද කරුණු විභාග කර තීන්දු ගනිති. මුළු රටටම බලපාන පොදු නීතියක් ගැන සාකච්ඡා කිරීමේදී නීති පද්ධති කිහිපයක් ක්‍රියාත්මක වීම හා ඊට බලපෑ සමාජ සංස්කෘතික කරුණුද සැලකිල්ලට ගැනීම නොවැළැක්විය හැකිය. එහිදී සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ මුස්ලිම් දික්කසාදවලදී කාති උසාවිය මිස මුස්ලිම් පූජකවරුන් මැදිහත් නොවන බවය. සෞදි අරාබියෙහි නීතිය පූජකවරුන් හෙවත් මුල්ලාවරුන් අතට පත් වූ ආකාරයේ ක්‍රියාදාමයක් මෙරට දියත් නොවීය.

කාති උසාවිවල නඩු විසඳන්නේ මුස්ලිම් මහෙස්ත්‍රාත්වරුන් විසිනි. එහිදී පුරුෂයන්ට වඩාත් වාසිසහගත වන අයුරින් තීන්දු දෙන බවට ඇති චෝදනාවෙහි සත්‍යාසත්‍යතාව නෛතික මට්ටමේ පරීක්ෂාවට ලක් විය යුත්තකි. මෑත කාලයෙහි සමාජයෙහි ප්‍රවණතාවක් බවට පත්වූ මුස්ලිම් විරෝධය අනුව මෙහෙයවුණු මනසින් මේ ගැටලු පරීක්ෂා කළ නොහැක. මන්දයත් අවු. 18ට අඩු විවාහ, ජනවර්ගයකට සීමා නොවූ පුළුල් තලයේ සමාජ ගැටලුවක් වන හෙයිනි.

1951 අංක 13 දරන මුස්ලිම් විවාහ නීතිය හා දික්කසාද පනතද 1942 අංක 44 දරන උඩරට විවාහ නීතිය හා දික්කසාද පනතද සමකාලීන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සංශෝධනය වීමෙහි වරදක් නැත.

මුස්ලිම් සමාජය අවුරුදු 18ට අඩු විවාහ සම්ප්‍රදායක් පවත්වාගෙන යන බවට ඇති චෝදනාව නිරර්ථක එකක් බව පෙනේ. නීති පොත්වල කුමක් සඳහන් වුවද මුස්ලිම්වරු අඩු වයස් විවාහ අනුමත නොකරති. එහෙත් ලංකාවේ අඩු වයස් විවාහ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඊට බලපා ඇති ප්‍රධාන හේතුව ජනවර්ගය නොව දුප්පත්කම හා නූගත්කම බවය.

ඊට හොඳම නිදසුන සපයන්නේ පොලාන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දයි. ඉහළම අඩු වයස් විවාහ ප්‍රතිශතයක් ඇති එහි ජීවත්වන බහුතරය සිංහල බව සිහිපත් කරගත යුතුය. දරිද්‍රතාව සහ නූගත්කම නිසා අඩු වයසින් විවාහ වන මුස්ලිම් දැරියක් සැමියා විසින් අත්හරිනු ලැබීමේ සිදුවීමකට මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය වැලිකන්ද ප්‍රදේශයෙහි සිදුවීම්වලට නොලැබේ. දරුවන් සමඟ අනාථ වූ මව අවුරුදු 18ට අඩු වීම ඊනියා දේශප්‍රේමී මාධ්‍යවලට පුවතක්ද නොවේ.

පසුගිය දිනවල බදුල්ල ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් අඩු වයසෙන් විවාහ කරගෙන අතහැර දැමූ පුරුෂයකු පිළිබඳව කාති උසාවිය දුන් තීන්දුවට ඉහළ ප්‍රසිද්ධියක් ලැබිණ. ඇතැම් අන්තවාදී භික්ෂුන් හා මාධ්‍ය මේ සිදුවීම මුස්ලිම් ජනතාව හෙළා දැකීමේ මඟක් බවට පත් කර ගත්තේය.

කුල භේදය දැඩිව පවතින යාපනයේ ස්ත්‍රීන් මෙබඳු අත්දැකීම්වලට මුහුණ දෙන අවස්ථා විරල නොවේ. දිළිඳුකමින් හා කුලභේදයෙන් බැටකන සිංහල ස්ත්‍රීහුද මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙති. ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක විය හැකිය. මුස්ලිම් ස්ත්‍රීන්ට මේ ගැටලුවලදී කාති උසාවියේ පුරුෂ මූලික අධිකරණයෙන් අසාධාරණයක් වේ නම් එය වැළැක්වීමට පියවර ගත යුතුය. එය පළමු පියවරයි. දෙවැන්න දණ්ඩ නීති සංග්‍රහයද ඇතුළුව මුළුමහත් නීති පද්ධතියම පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමය.

අවධානයට ලක් විය යුතු අනෙක් වැදගත් කරුණ නම් මුළු රටටම බලපාන පොදු නීතියක් ස්ථාපිත කළ පමණින් විවාහය හා කුටුම්බ ජීවිතයට අදාළ සියලු ප්‍රශ්න නොවිසඳෙන බවය. මන්දයත් දුබලයා මැඩීමේ කුටුම්බගත හා සමාජගත ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණ එකක් හෙයිනි. ආර්ථික හා සමාජ විෂමතා තුනී කරන තෙක් ස්ත්‍රිය මතද පොදුවේ දුබලයන් මතද හෙළන පීඩනය මර්දනය හා නොසැලකිල්ලද සබලව පවතින හෙයිනි.

මාතෘකා