කොරල් පර විනාශය ජනදිවියේ විනාශයයි

කොරල් පර විනාශය ජනදිවියේ විනාශයයි

ලංකාවේ කොරල් පරවලින් සියයට 80ක ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ඉතිරි ප්‍රමාණයද විනාශ වෙමින් පවතින බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඊයේ (10) හෙළි කළේය. එය ශෝකජනක පුවතකි. කොරල්පර යනු සොබා දහමේ ප්‍රකෘති සෞන්දර්යය අප දෑස මත්තට ගෙනෙන අසිරිමත් නිර්මාණයකි. එය නෙතට රසඳුනකි. එහෙත් සෞන්දර්ය ප්‍රවාහයෙන් ඔබ්බට ගිය ආර්ථික හා සමාජ අදාළත්වයක් එහි තිබේ. එනිසා කොරල්පර සංරක්ෂණය සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම අපේ වගකීමය. 'අපේ' යනුවෙන් අදහස් කරනුයේ පාලකයා සහ පාලිතයා යන දෙපාර්ශ්වයයි.

කොරල්පර නිර්මාණය වන්නේ බහුබාවා නමැති මුහුදු ජීවියාගේ ක්‍රියාකාරිත්වයෙනි.මෙසේ නිර්මාණය වන කොරල්පර මුහුදු ජීවීන්ගේ වාසස්ථානයකි. එමෙන්ම ඝනව වැඩී පැතිරුණු කොරල් පරය වෙරළ ඛාදන බාධකයක් ලෙස ක්‍රියාකරයි. මේ අනුව සයුරාසන්නයේ ජීවත් වෙමින් සයුරෙන් දිවි ගැටගසාගන්නා ජනයාට කොරල් පරවලින් වන නිහඬ සේවය විශාලය. එය රට පුරා ජීවත්වන මුළුමහත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත වීම කෙරෙහි බලපායි. කොරල්පර විනාශ වීම ජනදිවිය අනාරක්ෂිත වීම කෙරෙහි බලපානු නොවැළැක්විය හැකිය. 2004 නොවැම්බර් මස මෙරටට බලපෑ සුනාමිය නිසා 45,000ක් ජීවිත හානි සිදු විය. එහෙත් කොරල්පර සක්‍රියව පැවති ප්‍රදේශවල හානිය අවම වීම අනුව පෙනී ගියේ කොරල් පර නොතිබුණා නම් තවත් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වන්නට තිබූ බවයි.

වත්මන වන විට දකුණු මුහුදු තීරයෙහි සියයට 90කට ආසන්න ප්‍රමාණයක්ද පරෙවි දූපත් ආශ්‍රිතව සියයට 40ක ප්‍රමාණයක්ද කොරල් විනාශ වී ඇති බව අනාවරණය වී තිබේ. මෙය කිසිසේත්ම සුළුකොට තැකිය යුතු තත්වයක් නොවේ. මෙය මෙපරිද්දෙන් කෙරීගෙන ගියහොත් තව නොබෝ කලකදී ශ්‍රී ලංකාව කොරල්පර රහිත සයුරකින් වට වූ දූපතක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. එයින් රටට වන බලපෑම සුළුපටු නොවේ.

කොරල්පර විනාශ වීම කෙරෙහි ස්වාභාවික හේතු මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද බලපායි. 1998 දී ඇති වූ එල්නිනෝ- ලානිනෝ තත්වය නිසා මෙරට කොරල්පරවලින් වැඩිහරියක් විනාශයට පත් විය. කොරල්පර විනාශ වූ විට නැවත නිර්මාණය වීම සඳහා වසර සියයක් පමණ ගතවිය හැකි හෙයින් මෙය කනගාටුදායක තත්ත්වයකි. මසුන් ඇල්ලීම සඳහා කොරල් මතුපිට පිපිරීම් සිදු කිරීම, ද්විත්ව ක්‍රියාකාරී බෝට්ටු භාවිතය, තහනම් දැල් භාවිතය, කොරල්පර පිහිටි කලාපවල ධීවර වරායන් ඉදි කිරීම හා හුණුගල් සඳහා කොරල් පර කැඩීම යනාදී මිනිස් ක්‍රියාකාරකම් රැසක් කොරල්පර විනාශයට බලපායි. විනාශයෙහි ප්‍රතිපල ලෙස වෙරළ ඛාදනය තීව්‍ර වේ. මත්ස්‍ය කර්මාන්තය බිඳ වැටේ. සයුර දූෂණ වෙයි. කොරල්පර සංචාරක ආකර්ෂණය දිනාගත් පිහිටීමක් වන හෙයින් ඒවා විනාශ වීම සංචාරක කර්මාන්තයේ වැටීමටද එක් හේතුවකි. මේ සියල්ලෙහි අවසන් ප්‍රතිපලය ආර්ථික, සමාජ හා පාරිසරික ගැටලු රැසක් නිර්මාණය වීමය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත සහ වෙරළ සංරක්ෂණ ආඥා පනත යටතේ කොරල්පර විනාශය වැළැක්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හික්කඩුව, පරෙවි දූපත්, බාරිෆෝ සමුද්‍ර අභයභූමිය සහ රූමස්සල සමූහ අභය භූමිය ආරක්ෂිත කලාප ලෙස නම්කරනු ලැබ ඇත. එහෙත් වෙරළාසන්න පදිංචිකරුවන් හා සංචාරකයන් කොරල්පර ආරක්ෂණයට අදාළ නීති පිළිබඳ සංවේදීකමකින් කටයුතු කරන බවක් නොපෙනේ. එමෙන්ම දේශපාලන හා සමාජ බලය හිමි පුද්ගලයන් ආර්ථික බලය තහවුරු කරගැනීම සඳහා කරන ක්‍රියාකාරකම්ද කොරල්පර විනාශයට සෘජුව බලපායි.

වෙරළෙහි ස්වාභාවික පරිසර පද්ධතිය විනාශ වූ විට එය ගොඩනැඟීම සඳහා විශාල මුදක් යොදවන්නට සිදු වීම, විශාල අයවැය පරතරයක් ඇති රටකට මරු පහරකි. ජෛව විවිධත්වය විනාශ වීම, මස්‍යයන් බෝවීම සීමාසහිත වීම ජනදිවියේ පැවැත්ම අඩාළ කරයි. මේ නිසා ජාතික වැදගත්කමක් ඇති කර්තව්‍යයක් ලෙස සලකා කොරල්පර සංරක්ෂණය කෙරෙහි කොයි කවුරුත් කැප විය යුතුය. ඒ සඳහා මහජනයා දැනුවත් කිරීම සහ නීතිය තදින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. කොරල්පර නමැති වටිනා සම්පත අහිමි වීමෙන් පසුව මරණ සහතික ලිවීමෙන් පලක් නැත.

මාතෘකා