සරම්ප වෛරසයට වඩා බියකරු අමුතු වෛරස්

සරම්ප වෛරසයට වඩා බියකරු අමුතු වෛරස්

ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් මුළුමනින්ම අත්මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබීම විශේෂ සිදුවීමකි. නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන රටක් හැටියට මේ ප්‍රවෘත්තිය සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ස්ථාපිත අදහස් නැවත සලකා බැලීමට කෙරෙන නිහඬ සංඥාවකි. එහිදී දේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තිවල වැදගත්කම කැපී පෙනේ.

සරම්ප රෝගය යනු මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වූ "දෙයියන්ගේ ලෙඩ" ගණයට අයත් වූ රෝගයකි. රෝගීන්ගේ පිහිටට තිබුණේ ජනවේදය මත පදනම් වූ ප්‍රතිකාර රටාවකි. මේ නිසා රෝගියාගේ ජීවිතය එතරම් සුරක්ෂිත නොවීය. එහෙත් රෝගීන් සඳහා එන්නත් භාවිතය හඳුන්වා දීමෙන් පසුව එතෙක් සම්මතව තිබූ සමාජ ආකල්පද වෙනසකට ලක් විය. අතීතයෙහි උපත් මරණ මෙන්ම රෝගාබාධ නිසා සිදු වන මරණද ඉහළ අගයක් ගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර සහ උපදේශන සේවා මත ක්‍රියාත්මක වූ වැඩසටහන අනුව සෞඛ්‍ය ක්ෂේත්‍ර ත්‍රයෙහි ඉහළ ප්‍රගතියක් ඇති විය. ඒ අනුව ලාදුරු සහ මැලේරියා යනාදී රෝග මුළුමනින් තුරන් කිරීමේ රටක් හැටියට ශ්‍රී ලංකාව ප්‍රකට විය. සරම්ප රෝගයෙන් අත්මිදීමට හැකි වන්නේ ඉන් පසුවය.

2013 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 4079 කි. 2017 දී සරම්ප රෝගය නිසා ලොව විවිධ රටවලින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 111000ක් පමණ වේ. ගෝලීය වශයෙන් ගත් කල ඇතැම් රටවල සරම්ප රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ. එන්නත් භාවිතය පිළිබඳ ඇති වැරදි මත මීට බලපෑ ප්‍රධාන හේතුවක් වී ඇත. එන්නත් භාවිතය සම්බන්ධයෙන් වැරදි මත රාශියක් එකල මෙරටද පැවතිණ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍රගත කරගනිමින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය අධ්‍යාපනය, පවුල් සෞඛ්‍ය සේවය යනාදියෙහි සාර්ථකත්වය අනුව මහජනයා අතර තිබූ ඇතැම් දුර්මත ඉවත් විය. මෙවැනි දුර්මත මුල් බැසගෙන ඇති ඇතැම් රටවල තවමත් රෝග ව්‍යාප්තිය සිදු වීම අරුමයක් නොවේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවය ලොව ඕනෑම දියුණු රටක සෞඛ්‍ය සේවයට නොදෙවැනි මට්ටමක පවතී. කරුණු මෙසේ තිබියදී සරම්ප වෛරසයට වඩා බියකරු වූ වෛරස් සෙඛ්‍ය ක්ෂේත්‍රයට ආසාදනය වෙමින් පැවතීම කනගාටුවට කරුණකි. වත්මනෙහි ප්‍රතිකාර සඳහා රෝහල් ගේට්ටුවෙන් ඇතුළට පැමිණෙන ජනතාවට මුලින්ම දකින්නට ලැබෙන්නේ ඇතැම් වෛද්‍ය කණ්ඩායම් විසින් සෞඛ්‍ය ඇමතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ප්‍රදර්ශනයට තබා ඇති වෛරී ප්‍රකාශයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය ලාංඡනයද භාවිත කරමින් නිර්මාණය කළ විරෝධතා පාඨ රෝහල් බිත්තිවලද අලවා ඇති බව පෙනේ. මේවා යථා තත්වයට ගෙන ඒමට වියදමක් දැරිය යුතු හෙයින් මෙය පොදු දේපළ අවභාවිතයක් ලෙස හැඳින්වීම යුක්තියුක්තය. රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලබන මාධ්‍ය හමුවලදී වෛද්‍යවරුන් කරන ප්‍රකාශවල ස්වරය හා අරුත මැරකල්ලිවල හැසිරීම් සිහිගන්වයි. මෙය අසෝබන තත්වයකි.

හිපොක්‍රටීස් දිවුරුමෙන් වැඩ ආරම්භ කරන වෛද්‍ය වෘත්තිකයා ආචාරධර්ම පද්ධතියකට බැඳී සිටී. එහෙත් එම ආචාරධර්ම ප්‍රසිද්ධියේ කඩ කරන ඇතැම් වෛද්‍යවරු ජාතිවාදී හා ආගම්වාදී ප්‍රවණතාවල ගොදුරු බවට පත්වෙමින් රට ජාතිය ගැන සාඩම්බර කතා කීමට ඉදිරිපත් වෙති. මෑතදී සාෆි වෛද්‍යවරයාගේ ප්‍රශ්නයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැසිරීම වෛද්‍ය වෘත්තිය පිළිබඳව තිබූ දෙස් විදෙස් ප්‍රතිරූපය දරුණු ලෙස පළුදු කිරීමටද හේතු විය. ඉන්දියාවෙන් ලංකාවට නොමිලේ ලැබුණු සුවසැරිය ගිලන් රථ සේවාව පිළිබඳ මහජන සිත්හි භීතියක් ඇති කිරීමටද ඇතැම් වෛද්‍යවරු කටයුතු කළහ. වත්මනෙහි මුළු දිවයිනම ආවරණය වන පරිදි පුළුල් වෙමින් පවතින සුවසැරියෙන් සේවය ලබන ප්‍රමාණයද ඉහළ යමින් පවතී. විරෝධතා දැක්වූවෝ කසාය බිව් ගොළුවන් සේ මුනිවත රකිති. ශ්‍රී ලංකාවේ අංගසම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වේ යැයි ඉන් අදහස් නොවේ. කවර විෂමතා ඇතත් නිදහස් සෞඛ්‍ය සේවයේ පදනම් බිඳී නොමැත. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියෙහි ඇතැම් යෝජනා ක්‍රියාත්මක වෙයි.

මෙහිදී සරම්පවලට වඩා භයානක වෛරස සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුළු කිරීමට උත්සාහ කරන කණ්ඩායම් රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම සබුද්ධික ජනතාවගේ අවධානයට ලක් විය යුතුය. එම රෝගයටද නිසි පිළියම් ලබාදීම සඳහා ඉදිරිපත් වීම ඔවුන්ගේ යුතුකමයි. වගකීමයි.

මාතෘකා