සුළු අපනයන බෝග වගාකරුවන් ආරක්ෂා කර ගනිමු

සුළු අපනයන බෝග වගාකරුවන් ආරක්ෂා කර ගනිමු

මීට මාස කිහිපයකට පෙර ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය කිරීම මුදල් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් අත්හිටුවන ලද බව ප්‍රසිද්ධ කෙරිණ. මේ ආරංචිය ගොවීන්ට මහත් අස්වැසිල්ලක් විය. එනිසා ඔවුහු සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් අදෘශ්‍යමානව දියත් වූ නින්දිත ක්‍රියාදාමය තවමත් ක්‍රියාත්මක වන්නේ දැයි ගොවීන්ට සැකයක් ඇති වී තිබේ. ඊට හේතුව සුළු අපනයන බෝගවල මිල පහළ වැටීමේ වෙනසක් නොවීමයි. මෙහි ප්‍රතිපලය එම ගොවීන් අධෛර්යයට පත් වීමය. ඔවුන්ගෙන් යැපෙන පවුල් අසරණ වීමය. මෙය කිසිසේත්ම සමාව දිය හැකි වරදක් නොවේ.

ගම්මිරිස්, කුරුඳු, ගොරකා යන වගාවන් කෙරෙහි මේ තත්ත්වය නරක අන්දමින් බලපා තිබේ. රු.1400ක්ව තිබූ වියළි ගම්මිරිස් කිලෝවක වත්මන් මිල රු. 400කි.

රු. 500ක්ව තිබූ අමු ගම්මිරිස් කිලෝවක වත්මන් මිල

රු. 150කි. කුරුඳු කිලෝවක මිලද රු. 1000කින් පමණ අඩු වී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් නිවැරදි තීන්දුවක් ගනු ලැබුවද එහි සාධනීය ප්‍රතිඵලය ගොවීන්ට නොලැබීමේ හේතු සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය.

ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. දේශීය කුළුබඩු වර්ගවල ගුණාත්මක බව හා ප්‍රමිතිය එහිදී වැදගත් වී තිබේ. උදාහරණයක් වශයෙන් දේශීය ගම්මිරිස් ඇටවල පොත්ත තුනීය. පිටි ප්‍රමාණය වැඩිය. මේ නිසා වියට්නාමය වැනි රටවල ගම්මිරිස්වලට වඩා දේශීය ගම්මිරිස් මිලදී ගැනීමට විදේශීය ගැනුම්කරුවෝ කැමති වෙති.

ලෝක ගම්මිරිස් අවශ්‍යතාවෙන් 2%ක් සපුරන්නේ

ශ්‍රී ලංකාවේ ගොවීන් විසිනි. දැනට වගාකරන හෙක්ටයාර 33,000කට ආසන්න වූ වගාබිම් ප්‍රමාණයද ප්‍රසාරණය වෙමින් පැවතිණ. ප්‍රතිඅපනයන මාෆියාව ක්‍රියාත්මක වූයේ ඔය අතරතුරය. මෙහිදී කූට ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීමෙන් වියට්නාමයෙන් ගෙන්වන ලද බාල ගම්මිරිස් ලංකාවේ නිෂ්පාදන හැටියට, සම්මත මිල යටතේම අපනයනය කෙරේ.

මෙය අපරාධයකි. මෙයින් දුක් විඳින පිරිස ලක්ෂ ගණනකි. දේශපාලන බලය යොදාගෙන කූට ජාවාරම් කිරීම වැළැක්විය යුතුය. ගොවි බිම්වලින් කලකිරීමේ හා වෛරයේ මිනිස් චර්යා මතු වීමේ ප්‍රවණතාව රටේ අනාගතයටද නරක අන්දමින් බලපෑම සුළු කොට තැකිය යුත්තක් නොවේ.

මෙහි නරක ප්‍රතිඵල කිහිපයකි. ඉන් එකක් නම් දේශීය ගොවීන්ගේ ගම්මිරිස් අලෙවි කරගත නොහැකි වීමෙන් ගම්මිරිස් මිල පහත වැටීමය.

දෙවැන්න දේශීය කුළුබඩු වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එතෙර තිබූ විශ්වාසය පළුදු වීමය. තෙවැන්න ගම්මිරිස් වගාවෙන් ජීවත් වූ ලක්ෂ දෙකකට ආසන්න ගොවි පවුල්වල සාමාජිකයන් විකල්ප ජීවන මාර්ගවලට අවතීර්ණ වීමය. ඇතැමුන් සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹීමය. එනිසා මේ ගැටලුව කඩිනමින් විසඳාගත යුත්තකි.

සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ගම්මිරිස් වගාකරුවන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළ බෙහෙවින් සාර්ථක විය. සාම්ප්‍රදායික හේන් වගාවෙන් නන්නත්තාර වී සිටි ගොවි පවුල් විශාල ගණනකටද නව ජීවනයක් ලැබිණ. මෙය ගම්මිරිස් වගාකරුවන්ට පමණක් නොව කුරුඳු හා ගොරක වගාකරුවන්ටද අදාළය. අපනයන බෝග ලෙස ඒවා ප්‍රවර්ධනය කිරීම කාලෝචිත තීන්දුවකි. එහෙත් අනෙක් හැම ක්ෂේත්‍රයකම මෙන්ම කූට ජාවාරම්කරුවන් හිස එසවීම මෙහිදීද සිදුවිය. කසළ තේ අපනයනයෙන් තේ නිෂ්පාදන වෙළෙඳපොළට කළ හානියට වඩා හානියක් කුළුබඩු අපනයන ක්‍රියාවලියට සිදු කර ඇති බව පෙනේ.

දේශපාලන අනුග්‍රහයෙන් තොරව මෙවැනි කූට ජාවාරම් දියත්කළ නොහැක. ජාවාරමට අනුබල දුන් දේශපාලකයා සිංහල හෝ මුස්ලිම් කවර ජනවර්ගයට අයත් වුවද ඡන්ද පොදියෙහි බර නොසලකා හැර පාර්ලිමේන්තුව ඒ ගැන තීන්දුවක් ගත යුතුය. එමෙන්ම ප්‍රතිඅපනයනය අත්හිටුවා රේගුව බාරයේ තිබූ ගම්මිරිස් කන්ටේනර් මුදාහැර නැත්නම් ගම්මිරිස් මිල පහත බැස්සේ කුමක් නිසාද යන්න සොයා බලා සුදුසු පියවර ගැනීම රජයේ වගකීමය. දේශපාලන අවස්ථාවාදීන් බොර දියේ මාළු බාන සමයක ඔවුනට වාසි සහගත වන අන්දමේ යටි උගුල් ක්‍රියාත්මක වේ නම් ඒ ගැන සිහිබුද්ධියෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයටද හොඳය.

මාතෘකා