බෝම්බ

බෝම්බ

අප නිතර උපුටනයක්ව ගනු ලබන වැකියක් තිබේ.

ඒ, 'ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකණ්ණි මෝඩයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි.

ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි.' යනුවෙන් ආතර් ෂොපෙන්හොර් පවසා තිබෙන වැකියයි.

එය 'ඇදහිල්ලක්' තරමට බරසාර ලෙස හිතේ සටහන් කරගත යුතු වැකියකි.

ශිෂ්ට සම්මත ජන සමාජය කිසිවිටෙක ජාති, ආගම්, කුල, ගෝත්‍ර මත ස්වකීය පැවැත්ම බෙදා වෙන් කරන්නේ නැත. එය සහමුලින්ම ගෝත්‍රික පන්නයේ ක්‍රියාවකි. එයින් සමාජය තල්ලු වන්නේ 'අගාධයට' විනා යහපත් අනාගතයකට නොවේ.

ශ්‍රී ලංකාව අතීතයේ සිටම බහු ජාතික, බහු ආගමික රටකි. මානව විවිධත්වය කෙරෙහි මානවීය දෘෂ්ටියක් නැති මිත්‍යාදෘෂ්ටිකයන් කිසිවෙක් එකී 'නෙක පාට' විචිත්‍රත්වය ප්‍රිය නොකරති. එහෙත් ශිෂ්ටත්වයේ අපූර්වත්වයට අනුගත මිනිස්සු ඊට ප්‍රිය කරති.

එවන් සමාජයක ජාතිවාදී, ආගම්වාදී අර්ථයෙන් දේශපාලන පක්ෂ බිහිවෙනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයකි.

ජාතිවාද‍ය හා ආගම්වාදය සමාජයට ඉතිරි කළේ විනාශය සහ අහිමිවීම්ය; කඳුළුය; අඳුරය. සැනසුම් සහගත සමාජයක් අන්තවාදයට දක්කාගෙන යෑමට එයට හැකිය.

විවිධ කාරණා මුල්කරගනිමින් මෙරට බොහෝ දේශපාලන පක්ෂ බිහිවිය. එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ සියලු ජාතීන් සහ සියලු ආගමිකයන් උදෙසාය. ශ්‍රීලනිපයද එසේමය. එවන් පක්ෂවල අඩුවැඩි වශයෙන් ජාතිකත්ව සහ ආගමික ලැදියාවන් තිබෙන නමුදු ඒ තත්ත්වය අන්තවාදී කොනකට තල්ලු වී නැත.

එහෙත් සෘජුවම ආගමික සහ ජාතිකත්ව පදනමෙන් පක්ෂ බිහි වීමෙන් සිදුව තිබෙන බරපතළ ව්‍යසනය රට වළපල්ලට දක්කාගෙන යන්නට තරම් සමර්ථව ඇත.

සිය ජාතියේ අරමුණු දිනවීම උදෙසා හෝ ආගමේ අරමුණු ඉටුකරගැනීම උදෙසා පක්ෂ බිහි කරනවානම් ඒ රටේ අනාගතය ගෙඩි පිටින්ම අගාධයේය. ඒ බෙදුම් රේඛාවම රටක විනාශයට ප්‍රමාණවත්ය. ජාති, ආගම් වැනි පුද්ගල අභිලාෂයන් සමඟ මුසු කොට ගෙන ක්‍රියා කිරීමට යන කුමර සමාජයකිනුත් පිළිබිඹු වන්නේ දේශපාලන පරිහානියේ ප්‍රකට ලක්ෂණයන්ය.

යුද්ධය නිම වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවන් කිහිපවිටක් උදා විණි. එහෙත් ඊට පයින් ගැසූ අවස්ථා එමටය. ඉන් බොහොමයක් බල තණ්හාව සහ උමතු උද්දච්ඡකම හේතුවෙන් සිදු වූ සහ සිදුවන විනාශයන්ය.

මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැ‍ඟෙමින් ඇති නොසන්සුන්තාව එක පිරිසකගේ නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීහු මෙන්ම මුස්ලිම් ජාතිවාදීහුද එය තරගයට මෙන් පෝෂණය කළහ. මෙම ජනවර්ග දෙක අතර එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි.

එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදී පක්ෂද බිහි විය.

මුසල්මානුවා වේවා, සිංහලයා වේවා, දෙමළා වේවා ජාතිවාදය කරපින්නා ගන්නවා නම් ඉන් එහාට කතා කරන්නට 'පවිත්‍ර' යමක් ඉතිරිවන්නේ නැත. එවැනි ඇරඹුමකින් පසුව ඉතිරි වන්නේ ලේ වැකි අඳුරු පසුසටහන් පමණක් බව නොතේරෙන අධමයන්ට කොතරම් පහදා දුන්නත් ඵලක් නැත.

දැන් සමහරු විනාශයට පත්වූවන්ගේ ප්‍රමාණයන් අනුව ජන වර්ග බෙදා වෙන් කරති. උන්ට අපිට තරම් විනාශයක් වුණේ නැතැයි කියමින් සමහරු තව තවත් ලේ සහ ජීවිත විනාශ කරන්නට වෙහෙසෙති. උන් මරපු හැටි අමතකද කියා විමසමින් උන්ව මැරීමේ අරමුණින් කඳවුරු බඳිති.

'දේශපාලනය ගැන කතාකොට අමනාප නොවන්නැයි' කියා වෙළෙඳ සැලක එල්ලා තිබෙන සටහනක සේයාරුවක් මේ දිනවල සමාජ ජාල තුළ හුවමාරු වෙමින් තිබේ. සිදුවන දේවල්වල හැටියට මිනිසුන්ට දේශපාලනය ඒ තරමටම 'තිත්ත' වී ඇති සැටියකි.

සත්‍ය වශයෙන්ම ගත්කල දේශපාලනය සම්බන්ධව මෙරට සමාජය තුළ කලක සිටම පවතින්නේ අඳුරු සහ අපකීර්තිමත් ආකල්පයකි. බොහෝ දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයන් සේම ඒ වර්ගයේ අය නියෝජිතයන් සේ තෝරා පත්කර හරින මහජනයාද ඊට වගකිව යුතුය.

ඔබට දෙවර්ගයක බෝම්බ හමුවිය හැක.

එකක් සීෆෝ වැනි පුපුරණ ද්‍රව්‍ය මුසුකොට තනා ඇති ‘බෝම්බ’ය. අනෙක්වා ජාතිවාදී, ආගම්වාදී පදනමකින් කටයුතු කරන දේශපාලන පක්ෂ නැමති ‘බෝම්බ’ය.

මාතෘකා