නව අධ්‍යාපන පනතට

 නව අධ්‍යාපන පනතට

අධ්‍යාපනයට නව පනතක් ගෙන එන බව ඇමතිවරයා පවසා තිබේ. කරනවානම් එය පැසසුම් කළයුතු වැඩකි. යල්පැන ගිය ළිංමැඩි අධ්‍යාපන ක්‍රමය කරකවා අතහැර දමා නවීන පන්නයේ අධ්‍යාපන මෙහෙයුමක් සිදු කළ යුතුය. ඒ ගැන තර්කයක් නැත.

ඒ එක්කම සිහිපත් කළ යුත්තක් තිබේ.

අල්ලස ෙහා් දූෂණය මැඩලීම ඉදිරියේදී විෂයක් වශයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල විෂය මාලාවලට එක් කිරීමට අධ්‍යාපන විශේෂඥයන් සමඟ සාකච්ඡා කෙරෙමින් තිබෙන බවට වාර්තා පසුගිය දිනවල පළ විය.

කළ යුතු බොහෝ දෑ පවතී. ඒ අතරේ අල්ලස, දූෂණය පිළිබඳව “ලැජ්ජා බය” සමාජයක් හදන්නට පියවර ගන්නා අයකුට මේ තීරණය අතිශය වැදගත්ය.

අල්ලස ෙහා් දූෂණය ලෝකය පුරාම ව්‍යාප්ත අතිශය බියකරු පිළිලයකි. එකී පිළිලය එතරම්ම වියරු ලෙස ලෝකය වෙළාගෙන තිබුණද ඊට එරෙහිව සටන් වදින්නෝද ලොවපුරා සිටිති. මීට වසර හත අටක සිට අල්ලස්‌ හෝ දූෂණ විරෝධී හඬ ලෝකය පුරාම රැල්ලක්‌ සේ විසිරී ගියේය. එහි නූතන ජනප්‍රියතම උදාහරණය ඉන්දියාවේ ‘අන්නා හසාරේ’ ය.

කෙසඟ සිරුරැති හසාරේ 2011 අවසාන බාගය පුරා ඉන්දියාවේ සියලු මාධ්‍යවල ශීර්ෂ පාඨ අල්ලා ගත්තේ ‘අල්ලසට දූෂණයට එරෙහිව’ ඔහු ගෙනගිය වැඩපිළිවෙළ නිසාය.

සමස්ත ඉන්දියාවේම විශාල විප්ලවයක් කිරීමට හසාරේගේ දූෂණ විරෝධය සමත් විය.

ඉන්දියාවේ දූෂණයට එරෙහිව රට පුරා ජනතා විරෝධයකට මඟ පාදමින් ඔහු පැවැත්වූ උපවාසය ඔහු ජාතික වීරයකු බවට පත්කළ අතර තත්කාලීන මහත්මා ගාන්ධි කෙනකු ලෙස ඔහු විරුදාවලී ලැබීමටද හේතු විය.

එහි ප්‍රතිඵලය වූයේ අරවින්ද් කජ්රිවාල්ගේ අවාමි ලීගය දිල්ලියේ බලය අල්ලා ගැනීමය. විරැකියාව, කුසගින්න, දරිද්‍රතාව උග්‍ර තත්ත්වයක් තුළ වුවද දිල්ලි ජනයා දූෂණ විරෝධයට එරෙහිව ස්වකීය ඡන්දය ප්‍රකාශ කළේ එලෙසය.

මේ තත්ත්වය ඉන්දියාවෙන් ඔබ්බට ශ්‍රී ලංකාව වෙත ගලා එන්නේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එය සහමුලින්ම දූෂණය, අල්ලස පිටුදැකීමත් යහපාලනය බිහිකිරීමත් උදෙසා දෙලක්ෂ හැට දෙකක ජනතාවක් තීන්දු කළ මැතිවරණයකි.

සාමාන්‍යයෙන් ලෝකය තුළ ප්‍රශස්ත ක්‍රමවේදය වන්නේ සොරකමට පසු දඬුවම් කිරීමට වඩා සොරකම් නොකරන තැනට සමාජය පරිවර්තනය කිරීමය. එය සමාජ දේහයේ උඩ සිට පහළටම සිදු විය යුතු පරිවර්තනයකි.

ආණ්ඩු පෙරළියත් සමඟ දූෂණ හා අල්ලස් පිළිබඳව පැමිණිලිවලින් අල්ලස් ෙහා් දූෂණ කොමිසම පිරී ගියේය. රඹුටන් විකුණා එදා වේල සරිකර ගත් මිනිසාගෙන් පවා අල්ලස් හෝ කප්පම් ගත් දේශපාලන අධිකාරියක් රජ කළ රටක ක්ෂණික විසඳුම් ලබා දීම උගහට කරුණක් බව සැබවි. එහෙත් අල්ලස ෙහා් දූෂණය සමාජයක් හා රටක් විනාශ කරන අන්දම රටවැසියාට අවබෝධ කරලීම අත්‍යවශ්‍යය.

එසේ නොවන කල සිදුවන්නේ අල්ලස් පිට අල්ලස් ගන්නා, දූෂණ පිට දූෂණ සිදු කරන රටක් බිහි වීමය.

බිමට සමතලා වූ ජපානය අහස උසට ගොඩනැඟුනේ අධ්‍යාපනය කළ විප්ලවයෙනි. එය ආදර්ශයට ගන්නේ නම් ලංකාවට වරදින්නට විදිහක් නැත.

මාතෘකා