ලොව ළාබාලම පරිසර පර්යේෂණ කතුවරයා කියා දෙන පාඩම

ලොව ළාබාලම පරිසර පර්යේෂණ කතුවරයා කියා දෙන පාඩම

ඇමරිකාවේ ගූගල් ආයතනය පැවැත්වූ "ලොව ළාබාලතම පරිසර පර්යේෂණ ගත් කතුවරයා" සම්මානය ශ්‍රී ලංකාවේ දරුවකුට හිමිව ඇත. වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ සිව්වැනි ශ්‍රේණියේ ඉසුරු අරුණෝද් නාකන්දල යනු මෙම සිසුවායි. ‘‘හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ එහිදී අපට හමු වන සතුන්ගේ අසිරිය’’ කෘතියෙහි මාතෘකාවයි. පරිච්ඡේද 6කින් ලියා ඇති මෙහි වචන ගණන 6500කි. කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ ඔහුගේ පියා විසිනි.

මේ සිදුවීම කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. ඉන් පළමුවැන්න නම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය විසින් මොට්ට කරනු ලැබූ සමාජයක පර්යේෂණකාමී සහ නිර්මාණශීලී දරුවන් ජීවත්වන බව සිහිපත් කර දීමයි.

දෙවැන්න ශ්‍රී ලංකාව හැම අතින්ම අසාර්ථක යැයි පසුගාමී චින්තනයක් මුල් අදිමින් තිබෙන සමාජයකට බලාපොරොත්තුවේ ආලෝක ධාරාවක් හෙළීමයි.

තෙවැන්න මෙවැනි දරුවන්ගේ නිර්මාණශීලිත්වයට අනුබල දෙන දැනුවත් මවුපියන් සිටිය යුතු බවට කෙරෙන සංඥාවයි.

සිව් වැන්න හොරගොල්ල වනෝද්‍යානය ඇතුළු ජාතික සම්පත් පිළිබඳ ගවේෂණාත්මක කෘති පළකිරීමේ උනන්දුව වැඩිහිටි සමාජයෙන් ගිලිහෙමින් පවතින මොහොතක කුඩා දරුවකුගෙන් ලැබෙන ආදර්ශයයි.

අක්කර තිස් තුනකින් සමන්විත හොරගොල්ල ජාතික වනෝද්‍යානය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි එකම වනෝද්‍යානය වේ. ඒ පිළිබඳ ගවේෂණය කිරීමට එම පළාතේ දරුවකු ඉදිරිපත් වීම සුවිශේෂ සිද්ධියකි. මෙබඳු දක්ෂ, සංවේදී දරුවන් පිළිබඳ පුවත් වරින් වර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් වේ.එහෙත් කලකට පසුව පසුවිපරම් කිරීමේදී දක්නට ලැබෙන ප්‍රතිපල එතරම් සතුටුදායක නැත. ඉසුරු අරුණෝද් නාකන්දලගේ බලාපොරොත්තුව සත්ව විද්‍යාඥයකු වීම බව කියැවේ. එය ඉතා හොඳ අදහසකි. දරුවන්ට එවැනි අධිෂ්ඨානයක් තිබීම වැදගත් වේ. ඒ සඳහා ආදර්ශයට ගතහැකි විශිෂ්ට චරිතද සිටී. එහෙත් දරුවන්ට අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් පිළිබඳ සාහිත්‍යයක් ගොඩ නැගී නැති තරම්ය.

මෙවැනි ජයග්‍රහණ ලබන දරුවන්ගේ අනාගත ඉලක්ක සාධනය කර ගැනීම සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කර දීම වැඩිහිටි පරපුරේ වගකීමකි. දේශපාලන සංස්ථාව යනු එහි වගකීම දැරිය යුතු එක් ක්ෂේත්‍රයක් පමණි.

මේ පිළිබඳ පූර්ව අත්දැකීම් අපේ රටට ඇත. ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වෙන නව නිර්මාණ තරගවලදී අපේ රටේ විද්‍යාර්ථීන් ජයග්‍රහණ ලැබූ අවස්ථා දුලබ නොවේ. තාක්ෂණවේදය විෂය උසස්පෙළට හඳුන්වා දීමෙන් පසුව මේ තත්ත්වය වර්ධනය විය.

උදාහරණයක් වශයෙන් ගතහොත් තඹුත්තේගම මහා විද්‍යාලයේ උසස්පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුවකු වන නාමල් උදාර කුඹුරේදී පාවිච්චි කළ හැකි බහුකාර්ය යන්ත්‍රයක් නිර්මාණය කර ඒ සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබුවේය. ඔහුගේ නමින් තරුවක්ද නම් කෙරිණ. යන්ත්‍රය නිපදවීම සඳහා නාමල්ගේ පියා ඉඩමද උගස් කළේය. ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ යන්ත්‍රය කිසිවකුගේ අවධානයට ලක් නොවී මලකඩ කන්නට පටන්ගත්තේය. ඔහුගේ දක්ෂතා සැලකිල්ලට ගෙන ඉංජිනේරු උපාධිය ඉගෙනීම සඳහා ඔහුට අවස්ථාවක් ලබාදීමට මෙරට කිසිදු ඉංජිනේරු පීඨයක් ඉදිරිපත් නොවීය. ජාත්‍යන්තර සම්මාන දිනූ ගලෙන්බිඳුණුවැව පුබුදු කපුගේ යෞවනයාගේ කතාවද එබඳුය. ඔහුට කොරියවෙන් ලැබී තිබූ ශිෂ්‍යත්වයද දේශපාලන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් අහිමි විය.

නාසා ආයතනයෙහි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විමසන විට පෙනී යන්නේ විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන බුද්ධිමතුන් දේශීය සීමා මායිමෙන් ඔබ්බට ගිය වැදගත් කාර්යයක් ඉටු කරන බවය.

එවැනි මට්ටමකට වර්ධනය කළ හැකි ප්‍රඥාංකුර මේ පොළොවේ බිහි වෙයි. ඒවා රැක බලාගෙන සාත්තු කර විසල් රුක් බවට පකිරීම වැඩිහිටි සමාජයේ වගකීමය. අප අතින් ඉටු නොවන්නේද ඒ වගකීමය.

මාතෘකා