මහජන නියෝජිතයන්ගේ වත්කම්

මහජන නියෝජිතයන්ගේ වත්කම්

ළඟ එන මැතිවරණ කිහිපයක් ගැන මේ දිනවල කතාබහ කෙරෙයි. ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය හා මහමැතිවරණය වශයෙන් ඒවා පෙළගැස්වෙයි. ඒ අතරම සුපුරුදු පරිදි මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කවරේදැයි කතිකාවත් ගොඩනැඟේ. වංචා දූෂණවලින් තොරවූ යහපත් මහජන නියෝජිතයන් තෝරාපත්කර යැවීම පිළිබඳ මැතිවරණාසන්නයේ කව්රුත් කතා කරති. එහෙත් මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ඡන්දදායකයන් පොට වරද්දා ගෙන ඇති බවය.

මහජන නියෝජිතයන් බලය ලබා ගැනීමෙන් පසුව හැසිරෙන අන්දම අනුව මහජනයාගෙන් තද විවේචන එල්ල වේ. තවත් මැතිවරණයක් එනතුරු එම තත්ත්වයෙහි වෙනසක් නොවේ. මේ වනාහි නැවත වාදනය වන පරණ තැටියකි.

මෑතදී කළුතර ප්‍රදේශයෙන් ලක් ඉතිහාසයේදී හමුවූ ලොකුම කසිප්පු නිෂ්පාදනාගාරය වටලන ලදී. සොක්කකු මඟින් පවත්වාගෙන යන ලද එම හොර අරක්කු තිප්පොළෙහි හිමිකරු උදේ හවා රූපවාහිනී නාලිකා ඔස්සේ රට ජාතිය ගැන කතාකරන විපක්ෂ මන්ත්‍රී ලොක්කකු බව අනාවරණය වී ඇත.

මේ කසිප්පු නිෂ්පාදනාගාරය නිසා ප්‍රදේශයේ රා කර්මාන්තය පදනම් කරගත් ස්කාගාර නැත්තටම නැති වී තිබේ. මේ එක් උදාහරණයක් පමණි. මහජන නියෝජිතයන් තම වරප්‍රසාද භාවිතා කර අයථා වත්කම් ඉපයීම ජාතික ප්‍රශ්නයක් වන තරමට බරපතළය. රාජ්‍ය දේපළ කොල්ලකෑම එහි බරපතළම අනතුරයි.

මැතිවරණයට ඉදිරිපත් වන විට පිච්චිය නැති පුද්ගලයන් වසර කිහිපයකදී සිටුවරුන් බවට පත්වීම ප්‍රාතිහාර්යයක් වැන්න.

පසුගියදා පුනරුද ව්‍යාපාරයේ නායක වික්ටර් අයිවන් මාධ්‍යවේදියා ව්‍යාපාරවල යෙදෙන මන්ත්‍රීවරුන්ගේ තනතුරු ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයට ගියේය.

මහජන නියෝජිතයන් අයථා ලෙස වත්කම් ඉපැයීම වැළැක්වීම සඳහා ඇති හොඳම නෛතික ක්‍රියාදාමය වන්නේ වත්කම් හා බැරකම්වලට අදාළ නීතියයි. මෙය හඳුන්වා දෙන ලද්දේ 1975දීය. එය පසුව සංශෝධනයට ලක් විය. එම පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා රජයට සම්බන්ධ සංස්ථා, මණ්ඩල ප්‍රධානීන් තම වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතුය. මැතිවරණයට පෙර මහජන නියෝජිතයන් තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීම අයථා ලෙස වත්කම් ඉපයීම පිළිබඳ සොයා බැලීම සඳහා හොඳ අවස්ථාවකි. එහෙත් එය නිවැරදිව සිදුවේද යන්න ගැටලුසහගතය. වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරීමේ වරදට දඬුවම් ලබාදීමේ ක්‍රමය දුර්වල එකකි. සුළු දඩයක් ගැසීම ප්‍රමාණවත් නොවේ. එනිසා වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන විය යුතුය.

ජනාධිපති අපේක්ෂකයන් මැතිවරණයට පෙර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මෑත කාලයේ ඉදිරිපත් වූ යහපත් යෝජනාවකි. ගැටලුව වන්නේ එය නිවැරදි අයුරින් ක්‍රියාත්මක වේද යන්නය. මීට දශක කිහිපයකට පෙර වත්කම් බැරකම් නීතියක් නොතිබුණද මන්ත්‍රී පදවි ලද්දෝත් නායක නායිකාවෝත් තමන් සතු දේපළද දේශපාලනය සඳහා පූජා කළහ; ප්‍රතිලාභ අපේක්ෂා නොකළහ. ඇතැමුන් විශ්‍රාම ගියේ ජීවත්වන්නටද මඟක් නැතිවය. ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර එක් උදාහරණයක් පමණි.

අද එහි අනික් පැත්තය. මැතිවරණයට වියදම් කරන මහජන නියෝජිතයා මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් වියදම් කළ මුදල මෙන් කිහිප ගුණයක් උපයයි. ඥාතීන්ටද උලා කන්නට දෙයි. හත්මුතු පරම්පරාවම ගොඩ දමයි. හිටපු අගමැතිවරයකු වූ දි.මු. ජයරත්න වරක් ඥාති සංග්‍රහය බුදු දහමට එකඟ යැයි කියමින් මේ දූෂණ පිළිවෙත නිවැරදි කළේ බුදු දහමටද අපහාස කරමිනි.

නීතියටත් වඩා සදාචාරවත් පැවැත්ම වැදගත් වන්නේ මෙවැනි විපරීතකම් නිසාය. එළඹෙන මැතිවරණ සමය සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීඟීමේ අවස්ථාවක් කරගැනීම ඡන්දදායකයාගේ වගකීමයි.

මාතෘකා