හනුමා වන්නම

හනුමා වන්නම

වෙන්නප්පුවේ සභාපති 'හනුමා වන්නම' නටා වේදිකාවෙන් බසින්නටත් පෙරාතුව නාරම්මල උප සභාපති හනුමාට ඇඳ තිබේ. ඒ පොලිස් නිලධාරියකුට පහර දෙමිනි.

බලය නමැති ඇඳුම ඇඳගත් විට එහි රශ්මියෙන් උන්මාදයට පත්වන සමහරු එකී උන්මාදය ඔල්මාදයක් බවට පත්කර ගනිති. ඔල්මාදය උග්‍ර වූ විට කරන කියන දේ පිළිබඳව නිනව්වක් නැත. ප්‍රාථමික පන්නයේ තක්කඩිකම් කිරීමටත් ඒවාටම ගැළපෙන නිදහසට කාරණා ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අපූරු හැකියාවක් තිබේ. බලය යනු, නොසන්ඩාලකම් කිරීමට ලද 'ලයිසමක්' සේ සලකා කටයුතු කරන මජර දේශපාලන සූදුවක් මෙරට ක්‍රියාත්මක වෙයි. ප්‍රාදේශීය මට්ටමේ බලයක් තුළින් කරනු ලබන අශිෂ්ට ක්‍රියා මෙලෙස නම් සැලකිය යුතු බලයක් ලද විට කෙබඳු ලෙස හැසිරේද යන්න හිතාගත හැකිය.

බොහෝ විට මෙරට දේශපාලනය තෝරාගන්න බොහොමයකට දැනුම නැත. දැක්මක් නැත. වැඩපිළිවෙළක් ඇත්තේම නැත.

කුඩාම ආයතනය වන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන බහුතර අපේක්ෂකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ හෙංචයියන්ය. ඔවුන්ගෙන් බහුතරයකට දේශපාලනය කෙසේ වෙතත් ගමේ මරණාධාර සමිතියක පාලනය ලබා දීමට තරම්වත් සුදුසුකමක් නැත. ජාතික මට්ටමේ දේශපාලකයන් වෙනුවෙන් පෝස්ටර් ඇලවීමට, කටවුට් ගැලවීමට, පෝලීමේ සිට හොර ඡන්ද දැමීමට, විරුද්ධ පාක්ෂිකයන්ගේ දේපළ කඩා බිඳ දැමීමට නිර්ලජ්ජිතව ඉදිරිපත් වූ බොහෝ දෙනා ප්‍රාදේශීය සහ නාගරික මන්ත්‍රීවරුන් ලෙස තම කුට්ටිය ලබා ගැනීමට ඉදිරිපත් වන අවස්ථාවක් ලෙස පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම අපේ රටේ සම්ප්‍රදාය වී ඇත. මෙලෙස නුසුදුසු, අශ්ලීල පුද්ගලයන්ගේ සහභාගිත්වයක් ඇති පළාත් පාලන ආයතනයකින් යහපත් යමක් සිදුවේ යැයි බලාපොරොත්තු වීම විහිළුවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනලාට අනුව මේ බොහෝ දෙනා 'පොල් ලෙලි' පන්නයේය.

එවන් පොල් ලෙලි පත්කර ගැනීමේ ආදීනව සහ පළාත් පාලන නියෝජිතයන්ගේ අශ්ලීල පැවැත්ම ගැන නිදර්ශන ඕනෑතරම් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තෝරා පත්වුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බැලීමෙන් දැනගත හැකිය.

පළාත් පාලන නියෝජිතයන් බලයෙන් මත්ව පිස්සු කෙළීම සම්බන්ධව මෙබඳු උදාහරණ තවත් අනන්තවත් සැපයිය හැක. මේ සියලු තක්කඩි දේශපාලකයන් හට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දුන්නේද මේ රටේ ඡන්ද දායකයන්මය. ඒ ඡන්ද දායකයන් සාතිශය බහුතරය දැනටත් ඡන්ද දායකයන්මය. අද මෙම ඡන්ද දායකයන්ට ඇති අභියෝගය වන්නේ මෙවැනි හොරුන්ට, වංචාකරුවන්ට, තක්කඩින්ට, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකයන්ට නොරැවටී තමන්ගේ නියෝජිතයන් ලෙස ගරු මන්ත්‍රීතුමා යැයි කට පුරා කිව ගැකි පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරා පත් කර යැවීමය.

සර්වජන ඡන්ද බලය යනු කුමක්ද? එය ජනතාව වෙත ලැබෙන පරමාධිපති බලයයි. බොහෝ දෙනා ඒ පරමාධිපති බලය කුමක්ද කියා නොදනිති. තමන් වෙනුවෙන් කතා කිරීමට, පෙනී සිටීමට නියෝජිතයකු පත් කර යැවීමේ භාරධූර වාසනාව ඡන්ද බලය තුළින් මහජනයාට හිමි වෙයි. එලෙස පත්ව යන නියෝජිතයා කටයුතු කළ යුත්තේ ඔහුට ඕනෑ හැටියට නොව, ඡන්දය දී පත්කර යැවූ මහජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත්වන විදිහටය.

එහෙත්, සිදුවන්නේත් සිදුව ඇත්තේත් කුමක්ද?

වැඳගෙන විත් ඡන්දය ඉල්ලන පුද්ගලයා ජයගත් විට වැඩක් කර ගන්නට වැඳගෙන ඔහු වෙත යන්නට වීම තරම් සරදමක් තවත් තිබේද?

බර්ට්‍රොල් බ්‍රෙෂ්ට්‌ හිට්‌ලර්ගේ සමයේම ජර්මනියේ විසූ කලාකරුවෙකි. නාසිවාදයට උඩගෙඩි දුන් ඝාතකයන් යළි සුජාත කළ එකල ජර්මනියේ විසූ ජනතාව උපහාසයට ලක්‌ කරමින් බ්‍රෙෂ්ට් මෙහෙම කීවේය.

'අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය.'

වැරදි කළවුන් කරේ තියාගෙන යන කාටත් ඒ කතාව අදාළය.

මාතෘකා