113න් එකෙක් වෙනුවෙන්

113න් එකෙක් වෙනුවෙන්

සරණාගත ප්‍රශ්නය වත්මන් ලෝකය බරපතළ ලෙස අත්විඳින ප්‍රශ්නයකි. සිය මවුබිම අහිමිවූවන් ජීවත් වීමට තැනක් සොයා යන ගමන හේතුකොටගෙන ඔවුහු සරණාගතයන් බවට පත්වෙති. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොව පුරා සිය උපන් බිම අහිමිව දුක් විඳිති. ලොව පුරා 2018 මුල් භාගයේදී අලුතෙන් අවතැන් වූ පිරිස මිලියන 5.2කි. 2018දී ලොව පුරා සරණාගතයන් වූ පිරිස මිලියන 20.2ක් වූ අතර දේශපාලන රැකවරණ පතන්නන් මිලියන 3.2 ඉක්මවයි.

නවතම ඇස්තමේන්තු සැලකිල්ලට ගත් විට ලොව පුරා සිටින සෑම පුද්ගලයන් 113 දෙනකුටම එක් අයකු සරණාගතයෙකි.

ගෙවී ගිය දශකය ලොව වැඩිම සරණාගතයන් පිරිසක් වාර්තා වූ දශකය වන අතර ලොව පුරා වෙසෙන සරණාගතයන් සංඛ්‍යාව මිලියන 60 ඉක්මවන විට එයිනුත් අඩකට වඩා සිටින්නේ රටවල් තුනකින් සිය මවුබිම අහිමි වූ මිනිසුන්ය.

ඒ සිරියාව, ඇෆ්ගනිස්තානය සහ සෝමාලියාවයි. ලොව ප්‍රබල රටවල් මානව හිමිකම් සහ සාධාරණත්වය ගැන පුරසාරම් දෙඩූවද ලෝකයේ අනාථයන්ගෙන් 86%කටම රැකවරණය සලසන්නේ මැදි ආදායම් සහිත රටවල්ය. ඒ අතරින් සරණාගතයන් මිලියන 2.5කට රැකවරණය සලසන්නේ තුර්කියයි. දෙවැනි සහ තුන් වැනි ස්ථාන පාකිස්තානය සහ ලෙබනනයට හිමි වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිල වාර්තාවලට අනුව 2019 වසරේ මාර්තු 31 වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින දේශපාලන රැකවරණ පතන (Asylum seekers) පුද්ගලයන් සංඛ්‍යාව 819කි.

2019 වසරේ මාර්තු 31 වන විට ශ්‍රී ලංකාව තුළ රැකවරණ පතන සරණාගතයන් (Refugees) සංඛ්‍යාව 851කි.

කිසිවකුට විශේෂ සැලකිලි දැක්වීමට ඉඩක් නැතැයි යන තර්කයෙහි පිහිටා කටයුතු කරන ඔස්ට්‍රේලියාව “බෝට්ටුවකට නැඟගන්නට ශක්තියක් තිබේ නම්, අහුවුණාට පස්සේ ප්‍රතිවිපාක විඳින්නත් ශක්තියක් තිබිය යුතුය.” යනුවෙන් පවසයි.

අතීතයේදී මෙරට වාර්ගික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සරණාගතයන් ලෙස කඳවුරුවලට සිරගත වූ බොහෝ දෙනා සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාව වැනි රටවලට ගිය විට ගාල්කෙරුණේ හිටියාටත් වඩා ඛේදනීය කඳවුරුවලය.

ප්‍රබල රටවල්වලට අනුව සරණාගතයන් යනු ‘දහජරාවන්ය’.

කෙසේ වෙතත් සරණාගතයන් ලෙස කඳවුරු ජීවිත ගතකළවුන් ලොව පුරා ‘අසිරිමත්’ ජයග්‍රහණ ලද අවස්ථා කොතෙකුත් තිබේ.

මිලියන ගණනක මානව ඇස් එකම පිටියක් දෙසට යොමු වූ මහා සැණකෙළිය නිමා වූයේ වසර හතරකට ලෝක පාපන්දු කිරුළ ‘ප්‍රංශයට’ හිමිකර දෙමිනි. උද්වේගකර තරගයක නිමාව සටහන් වූයේ කිරුළ ප්‍රංශයටත් ‘මනුස්සකම’ ලෝකයටත් ප්‍රදානය කරමිනි.

ප්‍රංශය විසි වසරකට පසු ලෝක පාපන්දු කිරුළ හිමිකර ගැනීම රටක් වශයෙන් ඔවුන් ලද ජයග්‍රහණයකි.

ඊටත් වඩා සුවිශේෂී වන්නේ රටක් ලෙස ප්‍රංශය ‘මානව විවිධත්වයට’ ලබා දී තිබූ ඉඩහසරය. ‘තනි පැහැයට’ වඩා ‘පාට පාට’කෙරෙහි දක්වන ගරු කටයුතු ලබැඳියාව මනාකොට ඉස්මතු කරන්නට ප්‍රංශය මෙවර ලෝක කුසලානය අවස්ථාවක් බවට පත්කරගෙන තිබිණි.

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් වැඩි පංගුව ජන වර්ග පදනමින් ගත් විට ‘විවිධය’. උතුරු අප්‍රිකාවෙන් ප්‍රංසය වෙත සංක්‍රමණය වූ ජනකොටස්වල තෙවන පරම්පරාව ප්‍රංශයට ලෝක කුසලානය ලබා දීමේ වැඩි බර අදින ලද නියමුවෝ වූහ. ජීවිතයේ මූලාරම්භය සරණාගත කඳවුරුවල ගතකොට, අනතුරුව ක්‍රමානුකූලව සාමාන්‍ය සමාජයට හුරුවෙන විට ප්‍රංශ සමාජය ඔවුන්ව බාර ගත්තේ ‘එකම ජාතියක්’ ලෙස සලකමින්ය. ඔවුන්ද ප්‍රංශය තමන්ගේම රට ලෙස සැලකීය. නිර්ලෝභීව පුරවැසිකම ලබා දුන් ප්‍රංශයට ඔවුහු කළගුණ සැලකුවේද නිර්ලෝභීවය.

ලෝකයේ කොතැනින් පැමිණියද ඔවුහු පිටියට පිවිසියේ ප්‍රංශය දිනවන සිහිනය කැටිවය. දාඩිය, කඳුළු, ලේ සියල්ල හෙළමින් ඔවුහු ස්වකීය ඒකායන සිහිනය වෙත හඹා ගියහ. ප්‍රංශයේ සියලු ජනයාගේ ආශීර්වාදය ඔවුනට හිමි විය. ප්‍රතිවාදීන්ව මට්ටු කරමින් පෙරට යන ප්‍රංශ ක්‍රීඩකයන් සියලු දෙනා ‘එක රටක’ විවිධ මිනිසුන් විය.

මානව සංහතියට සමානාත්මතාවයේ චමත්කාර මුසු කරන්නේ ක්‍රීඩාවයි. සියලු මිනිසුන් මිනිසුන් බව මිනිස් හදවත් තුළට එන්නත් කිරීමේ මහාර්ඝ කටයුත්ත වෙනුවෙන් ක්‍රීඩාවට ගෞරවය හිමි විය යුතුය.

මාතෘකා