කාන්තා කෝච්චි පෙට්ටි

කාන්තා කෝච්චි පෙට්ටි

කෝච්චිවල නම් සහ කාන්තාවන්ගේ නම් අතර සබැඳියාවක් ඇත. මේ හේතුවෙන් කාන්තාව සහ දුම්රිය අතර සමානකම් දක්වමින් ප්‍රහසන ගොඩනැඟුණු අවස්ථා අප අසා ඇත. නමුත් පසුගිය සතියේ කාන්තාව සහ දුම්රිය ගැන නැවත කතාබහක් ගොඩනැඟුණේ කාන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රිය මැදිරි ඇති කිරීමට යෝජනා වීමත් සමඟය.

රටක දියුණුවේ දර්ශකය, සෑම පුරවැසියකුටම සුඛෝපභෝගී පෞද්ගලික වාහනයක් ලැබීම නොව සෑම පුරවැසියකුටම භාවිත කළ හැකි අයුරින් පොදු ප්‍රවාහනය දියුණු වීම යැයි මතයක් තිබේ. සෑම ජනතා නියෝජිතයකුම වසර පහෙන් පහට තීරුබදු රහිතව අධි සුඛෝපභෝගී වාහන ගෙන්වද්දී ඒ ජනතා සේවක උතුමන්ගේ සේවය ලබන ජනතා හාම්පුත්තු ලංගමයේ පාපුවරුවේත් කෝච්චියේ වහලයේත් සුඛෝපභෝගීව ගමන් කරති.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් හිංසනයට ලක්වීම බරපතළ සමාජ ගැටලුවක් බව සත්‍යයකි. ඒ අතරිනුත් කාර්යාල දුම්රිය කාන්තා හිංසනයේ ප්‍රධානතම තෝතැන්නකි. ඒ සඳහා ප්‍රතිකර්මය ලෙස කාන්තාවන් සඳහා වෙන් වූ වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීම බැලූ බැල්මට හොඳ තීරණයක් ලෙස පෙනුණද විමසා බැලීමේදී එහි පසුගාමී තත්ත්වයක් ඇත.

මෙම තීරණය දුම්රිය ගැන අවබෝධයකින් තොරව ගත් තීරණයක් බව පෙනේ. කාර්යාල දුම්රියවල ගමන් කරන සියලු කාන්තාවන්ට එක් මැදිරියක් සෑහෙන්නේ නැත. එසේම කාර්යාල දුම්රියවල සියලු කාන්තාවන් එක් පන්තියක මැදිරිවල ගමන් කරන්නේද නැත. අනෙක් පැත්තෙන් මෙකී කාර්යාල දුම්රියවල තිබෙන්නේ මැදිරි 12ක් පමණි. මේ කරන්නට යන්නේ අලුතෙන් මැදිරියක් එක් කිරීම නොව, තිබෙන මැදිරියක්ම කාන්තාවන්ට පමණක් වෙන් කිරීමයි. මෙය වනාහි දුම්රියවල තදබදයට කිසිදු විසඳුමක්ද නොවේ.

ශිෂ්‍යාවන්ට සහ ශිෂ්‍යයන්ට වෙන් වූ පාසල් හරහා සිදුවන පෞරුෂ හානිය ගැන බොහෝ කතාබහ මෙරට ඇතිව තිබේ. එමෙන්ම කාන්තාවන්ට සිදුවන හිංසනය වැළැක්වීමට පුරුෂ පාර්ශ්වය කාන්තාවන්ගෙන් වෙන් කර තැබීම සමාජයක් ලෙස අප තවත් පියවරක් පසුපසට තැබීමකි.

සිදු විය යුත්තේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරන පිරිමින්ගේ චර්යා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. වැරදි සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම එයින් ප්‍රධාන පියවරකි. ඒ සඳහා හිංසනයන් පිළිබඳ වාර්තා කිරීමේ සහ නීතිය හා ආරක්ෂාව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයන් සංවර්ධනය කළ යුතුය. ඒවා 'අමාරු' වැඩ වුවත් විය යුත්තේ දිර්ඝකාලීනව අසාර්ථක වැඩක් ලෙහෙසියෙන් කිරීම නොවේ.

දුම්රියවලදී කාන්තාවන් හිංසනයට ලක් වන ප්‍රධාන හේතුව අධික තදබදයයි. මරන්නට ගෙන යන හරකුන් ලොරිවල පටවාගෙන යද්දී එහි හරකකු වෙනුවෙන් තිබිය යුතු ඉඩ සම්බන්ධ නීති පොලිසිය දැඩිව ක්‍රියාත්මක කරන බව නිතර සිදුවන අත්අඩංගුවට ගැනීම්වලින් හෙළි වේ. එම නීති දුම්රිය මගීන්ට අදාළ නැත. දුම්රියේ කිසිදු මගියකුට සිය පෞද්ගලික අවකාශය සම්බන්ධයෙන් හිමිකමක් නැත. සාමාන්‍යයෙන් දුම්රිය මැදිරිවල කාර්යබහුල වේලාවට සිදු වන තරම් තදබදයක් කිසිම බසයක දැකිය නොහැකිය. බස්වල නම් පොල් පටවන්නා සේ මගීන් පටවන්නේ කොන්දොස්තරය. දුම්රියට අන්තිමට නඟින මගීන් කොන්දොස්තරගේ ඩියුටිය තමන්ට භාර ගෙන සෙසු මගීන්ට බැණ වදින්නේ කිසිදු කොන්දොස්තර කෙනෙකු නොකරන පරිදිය.

‘පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ’ යැයි සද්ධර්මරත්නාවලියේ කීවේ මෙවැනි විසඳුම්වලටය.

වාමාංශිකයකු වන ජෙරමි කෝබින්ද බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන්ට මැදිරි වෙන් කළ යුතු බව යෝජනා කර තිබේ. බ්‍රිතාන්‍යය 1977දී කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි වෙන් කිරීමේ ක්‍රමය අහෝසි කළේය.

මාතෘකා