සිව්වැනි ආණ්ඩුවේ ගිනි තැබීම්

සිව්වැනි ආණ්ඩුවේ ගිනි තැබීම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජීවිත, දේශපාලන සම්බන්ධතා සහ පෞද්ගලික සම්බන්ධතා ගැන පුවත් මේ දිනවල උණුසුම්ව විකිණෙමින් ඇත. දශක ගණනක් පුරා මෙරට සමාජයට පිළිකාවක් වී ඇති මත් උවදුර මැඬලීමට විධායකයේ සෘජු මැදිහත්වීම මත රජය කඩිනමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. එය සාධනීය ලක්ෂණයක් වනවා සේම, එම සිදුවීම් වාර්තාකරණයද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙළා දකින දිශාවකට යොමු විය යුතුය. එම සමාජ අවශ්‍යතාව පසෙක තබා සිව්වැනි ආණ්ඩුව, මත් ජාවාරම්වලට එරෙහි මෙහෙයුම් නාට්‍යානුසාරයෙන් රඟ දක්වමින් සහ කළු සල්ලිවලින් ගත කළ අධි සුඛෝපභෝගී ජීවිතයේ ආඪ්‍ය බව උත්කර්ෂයට නංවනු දක්නට ලැබේ. මීට සමගාමීව සමාජ ජාල මාධ්‍යයද ජාවාරම් පිටුදැකීමේ ක්‍රියාමාර්ග දිරිමත් කිරීම් පසෙකලා එම කතා පිටුපස ඇති භයානක මිනීමැරුම් සහ හොරකම් වික්‍රම ලෙස හුවා දැක්වීමට කටයුතු කරමින් ඇත. මේ තත්ත්වය ජනතාවාදී මාධ්‍යකරුවන් සහ වගකිව යුතු පුරවැසියන් ශෝකයටත් කම්පාවටත් පත් කරමින් තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමට පෙර මධූෂ්ගේ ක්‍රියා කලාපය පිළිබඳව මාධ්‍ය හැසිරුණු ආකාරය ගැන සටහනක් තබා තිබිණි. එම සටහන හරහාද මාකඳුරේ මධූෂ් වීරත්වය නැංවීමට මෙරට මාධ්‍ය කටයුතු කළ අන්දම ගැන විවේචනයක් ඉදිරිපත් කර තිබේ. වීරත්වයට නැංවීමෙන් නොනැවතී, ඔහු ගැන ලියවුණු ලිපි හරහා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනුගමනය කිරීමට මෙරට තාරුණ්‍යයේ උත්තේජනයක් ඇති කළ බවටද නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යට ඇඟිල්ල දිගු කර ඇත.

ජනතාව ඉල්ලා සිටින ඕනෑම කුණු ගොඩක් කිසිම වග විභාගයකින් තොරව ජනතාව අතරට යැවීම වගකිව යුතු මාධ්‍යක කාර්යභාරය නොවේ. හුදෙක් වෙළෙඳ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමේ පටු පරමාර්ථවලින් ඔවුන් සිදු කරන මෙම ක්‍රියාවන් මෙරට පොදු සමාජ චින්තනයට එල්ල කරන සෘණාත්මක බලපෑම් පිළිබඳ වගකීම සිව්වැනි ආණ්ඩුව බාර ගත යුතුය. ඒ හරහා බිහි වන අපරාධ සංස්කෘතිය, සෘණාත්මක සමාජ ආකල්ප මෙරට ආර්ථික, දේශපාලන සහ සමාජ දේහයට කරන හානිය ගැන වගකීමෙන් ජනමාධ්‍යට ගැලවිය නොහැක.

වගකිව යුතු මාධ්‍යක් ජාතික වශයෙන් වැදගත් පුවතක් පළ කිරීමේදී අනුගමනය කරන සම්ප්‍රදායන් සහ රීති ගණනාවක් ඇත. පුවතක් පළ කිරීමට ප්‍රථම වගකීම් සහගත මූලාශ්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිත කරමින් පුවත තහවුරු කර ගැනීම මූලිකම සිද්ධාන්තයකි. එසේ නොවන අවස්ථාවලදී පවා යම් සමාජ පිළිගැනීමක් ඇති චරිතයක් කළ ප්‍රකාශයක් උපුටා දැක්වීමද සිදු වේ.

එහෙත් ඊයේ (17 ඉරිදා) ප්‍රමුඛ පෙළේ සති අන්ත සිංහල පුවත්පතක ප්‍රධාන පුවත සතුව මේ කිසිදු ගුණාංගයක් නොතිබීම හාස්‍යජනකය, භයංකරය, ශෝකජනකය. එම පුවතට අනුව වර්තමාන රජයේ 'කොකේන් ගහන ඇමතිවරු හයක්' සිටිති. ''පූජකයෝ, ව්‍යාපාරිකයෝ, මන්ත්‍රීවරු, බැංකුකරුවෝ, නළුනිළියෝ සහ මාධ්‍යවේදීහුද කොකේන් ගසති''යි ඒ පුවතින් පවසයි. එමෙන්ම සමහර මැති ඇමතිවරු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වන්නේද මත්ද්‍රව්‍ය භාවිත කර බව එම පුවතින් කියවේ. මෙවැනි බරපතළ හෙළිදරව්වක් තහවුරු කරන කිසිදු ආකාරයක මූලාශ්‍රයක් එම පුවතට අන්තර්ගත නැත.

අදාළ පුවත සත්‍යයක් හෝ අසත්‍යයක් බව පැවසීමට තරම් අප සතුව කරුණු නොමැත. නමුත් මෙරට නීති සකසන්නේ, මූල්‍ය පාලනය සිදුකරන්නේ, ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කරන්නේ, රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගන්නේ තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර මත් වූවන් පිරිසක් බවට ප්‍රමුඛ ජාතික පුවත්පතක් පවසන්නේ නම්, එය අතිශයින්ම බරපතළ ප්‍රකාශයකි. සිව්වැනි ආණ්ඩුව සතු ආරෝපණය කරගත් බල අධිකාරිය ප්‍රශ්න කිරීමට යොමු වෙන්නේ, ජනමාධ්‍ය ජඩමාධ්‍ය ලෙස වර නඟන්නේ මෙවැනි වගකීම් විරහිත මාධ්‍යකරණය හේතුවෙනි. එබැවින් එම හෙළිදරව්ව සම්බන්ධයෙන් මෙන්ම මූලික මුලාශ්‍ර රහිත එවැනි මාධ්‍ය භාවිතයන් පිළිබඳවද ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීත්වය කඩිනම්ව සහ දැඩිව ප්‍රතිචාර දැක්විය යුතුය..

මාතෘකා