'ලිෆ්ට්' වීමේ ප්‍රමිතිය

'ලිෆ්ට්' වීමේ ප්‍රමිතිය

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක මිනිත්තු ගණනක් සිර වී සිටීම ප්‍රධාන පුවතක් බවට පත් විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු ඒ අතර සිටි බවද එම අවස්ථාවේ විදුලි සෝපානය තුළ සිටි මන්ත්‍රීවරයකු ලබා ගත් විඩීයෝවකින් හෙළි වී ඇත. සිරව සිටි විනාඩි ගණන පිළිබඳව පරස්පර කාරණා සඳහන් වුවද මන්ත්‍රීවරුන්ගේ කතාබහ අනුව නම් සිරව සිටි කාලය විනාඩි 10ක් පමණ බව හෙළි වේ.

එක්සත් ජාතික පක්ෂයේ රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා, ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙන්ම එජනිස නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරු සියල්ලන්ම පාහේ මේ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් නොයෙක්වර අදහස් ප්‍රකාශ කළහ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් කලබල වූ තරම පාර්ලිමේන්තුවේදී ඔවුන් කළ ප්‍රකාශවලින් පැහැදිලි වේ. එහිදී නම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සංහිඳියාව පිළිබඳව ප්‍රබල ආදර්ශයක් සැපයීමට සමත් වූයේ උත්තෝලක තාක්ෂණයේ ප්‍රමිතිය පිළිබඳව දැඩිව අවධානය යොමු විය යුතු බවද ප්‍රකාශ කරමින් සහ මෙවන් ගැටලුවකදී පාර්ලිමේන්තු සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන විවේචනද ඉදිරිපත් කරමිනි. මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන ගැටලුවක් බවටද ඔවුන්ම තර්ක ගොඩනැඟූ අතර රවි කරුණානායක මන්ත්‍රීවරයා, දිවයිනම ආවරණය වන පරිදි විදුලි සෝපානවල තාක්ෂණික ඇගයීම් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන එන බවද පවසා ඇත.

රටේ ඕනෑම ස්ථානයක මෙවැනි ගැටලුවක් පැන නැඟුණු අවස්ථාවක ජනතා නියෝජිතයන් ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි කදිම ආදර්ශයක් ලබා දීමට මෙම මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ. ගැටලුව වන්නේ තම සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගැටලුවක් සිදු වූ විට ක්‍රියා කරන අයුරින්ම රටේ මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්ද සිදු ක්‍රියාත්මක වේද යන්නයි.

විදුලි සෝපානවල ප්‍රමිතිය ගැන ගැටලු මතු වූ පළමු අවස්ථාව මෙය නොවූ අතර පසුගිය වසරක කාලය තුළ පමණක් විදුලි සෝපානවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් මරණ කිහිපයක්ම වාර්තා වී තිබිණි.

බොරැල්ල වනාත සහස්පුර නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය විවෘත කර ඇතුළු වීමේදී ඉහළ තිබූ සෝපානය හදිසියේ පහළට පැමිණීමෙන් එහි ක්‍රියාකරු ලෙස සේවය කළ 64 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය වසරේ පෙබරවාදි 18 දිනය. ගල්කිස්ස, ගාලු පාර අසල පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයට සහ බිත්තියට සිර වීමෙන් 22 හැවිරිදි චානුක සංගීත් නම් තරුණයා ජීවිතක්ෂයට පත් වූයේ එම වසරේම අප්‍රේල් 14 වැනිදා (සිංහල අවුරුදු දා) ය. කොළඹ, නවම් මාවතේ ප්‍රසිද්ධි සමාජ ශාලාවක විදුලි සෝපාන අනතුරෙන්, සීආර් ඇන්ඩ් එෆ්සී රගර් කණ්ඩායමට ක්‍රීඩා කළ 24 හැවිරිදි කෝකිල සමන්දපෙරුම තරුණයා මරණයට පත් වූයේ පසුගිය වසරේම දෙසැම්බර් 29 දිනය. මේ බොහෝ අනතුරුවලට පසු ඒ පිළිබඳව පුළුල් වාර්තාවක් කැඳවන බව ප්‍රකාශ වුවද ඒ කිසිදු වාර්තාවක් හෝ එවන් අනතුරු වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් පිළිබඳව මේ වනතෙක්ම මාධ්‍යට වාර්තා වී නොමැත.

මෙරට විදුලි සෝපානවලින් 25,800ක ප්‍රමාණයක් නියමිත ප්‍රමිතියෙන් තොර බව විදුලිබල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මේ දත්තය කුමන නිර්ණායක මත විග්‍රහ කළේද යන්න පැහැදිලි නැති වුවද විදුලි සෝපානවල ප්‍රමිතිය සොයා බැලීමේ සහ නියාමනය කිරීමේ නියමිත ක්‍රමවේදයක් සැකසීමේ සහ නිවැරැදිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව 'රට කරවන තැනට' තදින් දැනුණු මේ අවස්ථාවේ 'රොටිය පුච්චා' ගත යුතුය. නැතහොත් ගොඩනැඟෙන අහස් ගොඩනැගිලිවල සෝපාන මහජනතාවගේ සහ සංචාරක කර්මාන්තයේ හිස මත කඩා වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

මාතෘකා