රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා

සිය ප්‍රථම නිල විදෙස් සංචාරය නිමවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෙනසුරාදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ නිල විදෙස් සංචාර ගැන මෙරට වැසියන්ට තිබුණේ සැකයක් සහ කුතුහලයකි. එවන් අත්දැකීම් සහිත වූ කාල පරිච්ඡේදයක් අවසන් බව සලකුණු කිරීමට ජනපතිවරයාගේ මෙම සංචාරය සමත් විය.

සෘජුව හෝ වක්‍රව රටට ප්‍රයෝජනයක් නොමැති නාමික රාජ්‍යතාන්ත්‍රික ගමන් සම්බන්ධයෙන් ඉතිහාසයක් අපට ඇත. නිල විදෙස් සංචාර, මිත්‍ර සමූහයාගේ වරප්‍රසාදයක් ලෙස භාවිත කළ අතීතයක් අප සතුය. නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරන බව කියමින් බටහිරටම නතු වූ විදෙස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කළ බවද අපගේ මතකයේ ඇත. මෙම සියලු අන්ත පිටුදැකීම තම ප්‍රතිපත්තිය බව ජනපතිවරයා සිය ප්‍රථම නිල සංචාරයෙන්ම ඔප්පු කර තිබේ.

චීනය සහ ඉන්දියාව යන කලාපීය බලවතුන් සමඟ ඇති සම්බන්ධතා අප රට කෙරෙහි දැඩිව සහ සෘජුව බලපාන බව සත්‍යයකි. නමුත් මෙම සමීපතම සහකරුවන් දෙදෙනාගේ සහාය ලබා ගන්නා අතරතුර රටේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය රැක ගැනීම පහසු අභියෝගයක් නොවේ. මෙරට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය දේශපාලන බලපෑම එල්ල වන්නේ 1987දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමේ පටන්මය. එම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ අවස්ථාවේදී පවා එවක පැවති එජාප ආණ්ඩුවේ කර්මාන්ත ඇමති සිරිල් මැතිව් සහ කෘෂිකර්ම ඇමති ගාමිණී ජයසූරිය 13 වැනි සංශෝධනයට විරුද්ධව කටයුතු කළහ. එවැනි විරෝධතා මධ්‍යයේ වුවත් මෙතෙක් පැවති බොහෝ ආණ්ඩු 13 ගැන විවිධ පොරොන්දු ඉන්දියාවට ලබා දුන්හ. ඉන්දීය දේශපාලනඥයන් සහ මාධ්‍ය ඉදිරියේ ඔවුන් කැමති පිළිතුරද යළි මෙරටට පැමිණි විට මෙරට ඡන්ද බේරා ගැනීමේ පිළිතුරද ලබාදී නායකයෝ ඇල්මැරුණු පිළිවෙතක් අනුගමනය කළහ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව දෙදෙනා එක්ව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සිය බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමට මෝදි අගමැතිවරයා කටයුතු කළේය. නමුත් එම සංචාරය අතරතුරදීම සෙනසුරාදා දිනයේදී 'ද හින්දු' පුවත්පතේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සංස්කාරක සුහාසිනි හයිදර් සමඟ සාකච්ඡාවේදී සෘජුව නමුත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හානි නොවන ලෙස තම ස්ථාවරය පවසමින් පොලිස් බලතල වැනි සමහර කාරණා හැරුණු කොට 13 වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක වන බවත් තමන් දේශපාලන කාරණාවලට වඩා උතුරෙහි සංවර්ධනය ගැන අවධානය යොමු කිරීමට අදහස් කරන බවත් පවසා ඇත. ජනපතිවරයාගේ මෙම සෘජු බව ප්‍රශංසනාත්මකය.

එමෙන්ම මෙම නිල සංචාරය වෙනුවෙන් විශේෂිත ගුවන් යානා වෙනුවට මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ගමන් කිරීම, මෙම ධුර පිරිසට දේශපාලකයන් වෙනුවට නිලධාරීන් ඇතුළත්ව සිටීම වැනි කාරණාද මෙහිදී සුවිශේෂීව සැලකිය හැකිය.

මේ සියලු කාරණා මෙන්ම ජනපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මාලාව සාර්ථක කර ගැනීම උදෙසා ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක් ලබා දීමටද ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාන්විත සඳහා ඩොලර් මිලියන 50ක සහන ණය ප්‍රදානයක් ලබා දීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය. එය රටක් ලෙස මෙම කෙටි සහ විනිවිදින විදෙස් සංචාරයෙන් අප ලද ජයග්‍රහණයක් බවද සටහන් කළ යුතුය.

මාතෘකා