ගිනි තබන වනපෙත්

ගිනි තබන වනපෙත්

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමේසන් වනය ගිනිගැනීම ලොව පුරා අතිමහත් ජනකායක් ඉමහත් කම්පාවට පත් කළේය. වනයේ ගින්න මෙන්ම හදවත්වල ගින්නද මේ ලියන මොහොත වන තුරුද නිවී ගොස් නොමැත. දකුණු ඇමරිකාවේ බ්‍රසීලය ප්‍රමුඛව රටවල් ගණනාවක් පුරා පැතිරී ඇති ඇමේසන් වනය ගිනිගන්නා අවස්ථාවේ මෙරට කඳුකරයේද ස්ථාන කිහිපයක් ගිනි ගනිමින් තිබුණේය. එක් වසරකදී අවස්ථා ගණනාවක් මෙලෙස රටේ විවිධ ස්ථානවල වනාන්තර ගිනි ගැනීම පොදු යථාර්ථයක් බවට පත් වී තිබේ.

ඇමේසන් වනාන්තරයේ ගින්න හා බ්‍රසීලයේ නායකයා ඇතුළු බලගතු පාර්ශ්ව ඊට දැක්වූ මන්දගාමී ප්‍රතිචාරයෙන් පැහැදිලි වූයේ එරට තත්වය මෙරට තත්වයට සමාන බවයි. පොදු යථාර්ථයක් බවයි. එනිසා වත්මනෙහි කැලෑ ගිනි තැබීම හෝ ගිනි ගැනීම මහපොළොවට, ගහකොළට හා සතාසීපාවාගේ පැවැත්මට ආදරය කරන සබුද්ධික ජනයාගේ අවධානය දිනාගත් ගෝලීය ප්‍රශ්නයකි.

මෙරටට අදාළව ගත හොත් පවතින තත්වය කනගාටුදායකය. 2017 වසරේ කැලෑ ගිනිතැබීම් 58ක් වාර්තා විය. 2018දී 102කි. 2019 අප්‍රියෙල් මස වන විට 50 කි. මෙයින් පෙනී යන්නේ කැලෑ ගිනි තැබීම් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවය. ශ්‍රී ලංකාවේ වනගහනය වසරින් වසර ක්ෂය වන ප්‍රමාණය අනුව මෙම ගිනි තැබීම්ද ඊට දායක වන බව පෙනී යයි.

කැලෑ ගිනිතැබීම් ලෙස අර්ථ දැක්වුවද ලැව්ගිනි පිළිබඳ පුරාවෘත්තයට දිගු ඉතිහාසයක් හිමිය. කැලෑ ගිනිගැනීම් විවිධ හේතු නිසා ඇති වෙයි. මහ වනයක සුළඟේ ක්‍රියාකාරිත්වය නිසා ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් ඇති වන පුලිඟු ලැව් ගින්නකට හේතු විය හැකිය. අකුණු පහරක් නිසා ගසක් ගිනි ගැනීම ලැව් ගින්නකට මුල විය හැකිය. ලැව් ගිනිවලට සුදුසු පරිසරයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වේ. ගින්නක් පැතිරීම කෙරෙහි වියළි පරිසරය බලපායි. ස්වාභාවික හේතු මෙන්ම මිනිස් ක්‍රියාකරකම්ද පරිසරයෙහි වියළි බවට හේතු වේ. මේවා මැඩපැවැත්වීම නීති අංශවලටද අසීරු ව ඇත.

වත්මනෙහි දිගින් දිගටම කඳුකරයේත් තැනිතලා වනගහනයේත් ඇති වන ගිනිතැබීම්වලට හේතුව ආත්මාර්ථකාමීන්ගේ දුෂ්ටකම් බව පැහැදිලි වේ. උදාහරණයක් ගත හොත් නිල්ගල වනයේ රතුගල මායිමේ කැලෑ ගිනි තැබීමේ ප්‍රධාන හේතුවක් වන්නේ සතුන් දඩයම් කිරීමය. වනය දැවීයෑමෙන් පසුව ඇති වන වැස්සෙහි ප්‍රතිපලය කුඩුම්බේරිය ශාක ලියලීමය. එහි පත්‍ර බීඩි එතීමට ගනිති. එහෙයින් එය ආදායම් මාර්ගයකි. එනිසා මෙය පොළොව විනාශ කර ජීවත් වීමේ මඟකි.

වනගහනය ගිනි තැබීම ආත්මාර්ථකාමිත්වයේ ප්‍රතිපලයකි. සතකු දඩයම් කිරීම සඳහා වනය ගිනි තැබීමේදී ඒ වෙනුවෙන් දිවි පුදන ශාක හා සත්ව විශේෂ ගණන අපමණය. පොළොව මතු පිට හරිත වැස්ම ඉවත් වීම නිසා ඔසිජන් ප්‍රභවය සීමා කෙරේ. කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වේ. උණුසුම අධික වේ. පොළොව වියළී පාංශු ඛාදනය උග්‍ර වේ. කිසිදු අයිතිවාසිකමක් පිළිබඳව පෙනී සිටීමේ හැකියාව අහිමි, ඇතැම් විට පියවි ඇසටද නොපෙනෙන ජීවී ගහනයට කරන හානිය බරපතළය.

ඇතැම්හු විනෝදයට හා ගිනි තැපීමටද ගිනි තබති. සිගරට් කොට අවිචාරයෙන් වීසි කිරීම හා හේන් ගොවිතැනේදී බාහිර සීමා නොපාදා ගිනි තැබීම යන කරුණුද කැලෑ ගිනිවලට හේතු වේ. වත්මන් අධ්‍යාපනය පරිසර සංවේදී දරුවකු බිහි නොකරන හෙයින් ඔවුන් වැඩිහිටි වියට එලඹෙන්නේ වඳ මිනිසුන් ලෙසය.

2009 අංක 65 දරන කැලෑ සංශෝධන පනතට අනුව කැලෑ ගිනිතැබීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. දඬුවම රු. 20,000 සිට රු. 200,000 දක්වා දඩයක් හෝ පස් වසරක් දක්වා සිර දඬුවමකි.

නීති රීති ක්‍රියාත්මක වීම බොහෝ විට මන්දගාමී වෙයි. මේ හේතු නිසා පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන117 අංකය ඇමතීමෙන් කැලෑ ගිනි තැබීම් ගැන දැනුම් දිය හැකිය. මෙහිදී අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාට පැමිණිලි කිරීම පළමු පියවරයි. නීතිය ක්‍රියාත්මක කිරීමට සමාන්තරව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

පුරාණ හේන් ගොවිතැන වනය විනාශ කිරීමේ මඟක් හැටියට වැරදි මතයක් සමාජගත කර තිබේ. එය සදොස් මතයකි. පැරණි ගොවියා හේනක් වගා කිරීමෙන් පසුව එතැන කැලය වැඩෙන්නට ඉඩ හැර වෙනත් බිමක් තෝරාගත්තේය. එමෙන්ම හේන ගිනි තැබීමේදී එය වනගහනයට පැතිරීම වැළැක් වීමේ ක්‍රම අනුගමනය කළේය. එය පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රමයකි. වත්මනෙහි එය නොසැලකිල්ලෙන් කෙරේ නම් ඊට හේතුව ලාංකික ජනයාට උරුම සංරක්ෂණ ක්‍රමවේද සහ සාම්ප්‍රදායික ගොවිතැන හරිහැටි ග්‍රහණය කර නොගැනීමය.

වනගහනය විනාශ කිරීමට බලපා ඇති ගිනි තැබීම් වළක්වා ගැනීම සෑම රටවැසියකුගේම වගකීමකි.

මාතෘකා