එනපොට හොඳ නැත

එනපොට හොඳ නැත

"බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ"

මේ අප කවුරුත් දන්නා ජන කියමනකි. සමකාලීන සමාජ දේශපාලන තතු අනුව එය මඳ වෙනසකට ලක් කර මෙසේ ඉදිරිපත් කළ හැකිය.

"බළල්ලු මල්ලෙන් එළියට පැන්නා වගේ."

බළලුන් එළියට පනින මට්ටමට මලු හෙලවෙන්නට පටන්ගෙන ඇත්තේ ජනාධිපතිවරණ සුළඟ හමන්නට වීම හේතුවෙනි.

ජනාධිපතිවරණය සඳහා තවමත් නාම යෝජනා බාරගෙන නැතත් ජනාධිපති ධුර අපේක්ෂකයෝ ඉදිරිපත් වෙමින් සිටිති. මේ පෙරහැරට මුලින්ම එක්වූයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාය. එම අපේක්ෂකයා පිළිගැනීමේ උත්සව හා ආගමික ආශිර්වාද වැඩසටහන් රට පුරා පැවැත්වේ. ඒවාට සහභාගි වන දේශපාලන නායකයන්ගේ ශ්‍රී මුඛවලින් පිට වන අපූරු කතා මේ දිනවල සබුද්ධික ජනතාවගේ හාස්‍යයට මෙන්ම ඇතැම් විට භීතියටද හේතු වී තිබේ.

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසුව පිහිටුවන අලුත් ආණ්ඩුව විශේෂ අධිකරණ අත්හිටුවන බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. මෙහිදී විශේෂ අධිකරණ යනු මොනවාදැයි සිහිපත් කරගැනීම වටී.

2015දී සිදු වූ දේශපාලන පෙරළියෙහි ප්‍රතිඵලයක් වූයේ ප්‍රමාදවී හෝ විශේෂ මහාධිකරණ පිහිටුවීමය. රාජ්‍ය දේපළ කොල්ලකරුවන්ට හා ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට පවතින නඩු ප්‍රමාදය බාධාවක් වීම ඊට හේතුවක් විය. ඒ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙයි.

මේ නඩු සරත් ෆොන්සේකාගෙන් පළිගැනීම සඳහා නීතිය නවමින් මහ දවාලේ උස්සාගෙන යෑම පන්නයේ ඒවා නොවන හෙයින් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ ඉතාමත් සෙමිනි. එහෙත් කුමන මොහොතක හෝ තම පවුලේ කෙනෙකු නීතියේ රැහැනට කොටුවේය යන බිය රෙජීමයේ ප්‍රබලයන්ට පවතී. පවුලේ සාමාජිකයන්ට මේ බිය වැඩිය. ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණයද පවුල ගොඩ දාගැනීමේ වැඩකි. බල අරගලය හා හුවමාරුවද පවුලේ සාමාජිකයන් අතරය. එනිසා ඔවුන්ට විශේෂ අධිකරණ නයාට අඳුකොළ මෙනි.

පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවකුට නායකත්වය ලැබීමේ ඉඩක් නැතිදැයි පක්ෂයේ වහල්ලු, පනික්කියෝ සහ රිළා මොටයි නාසති. තම පක්ෂය බලයට පත්වූ පසුව නිකරුණේ චෝදනා කර නඩුවලට පටලවන ලද අයට නීතියෙන් දඬුවම් කරන බව නීති විශාරද මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කරයි. මෙය අනියමින් කරනු ලබන තර්ජනයකි. අපරාධකරුවන්ට එරෙහිව පරීක්ෂණවලට කැප වූ ශානි අබේසේකර වැනි විශිෂ්ට නිලධාරීන් තම රාජකාරිය කරමින් සිටින්නේද විවිධ තර්ජන ගර්ජන මැදය. ජී. ඇල්. ඇතුළු මහජන නියෝජිතයන්ගේ තර්ජනාත්මක ප්‍රකාශ පොලිසියේ හා අධිකරණයේ යුක්තිගරුක නිලධාරීන්ද අපහසුතාවට පත්කරනසුලුය.

මෙහිදී නීතිගරුක නිලධාරීන්ගේ මානසිකත්වය ගැන සිතා බැලිය යුතුය.

රාජකාරිය හරිහැටි ඉටුකිරීමෙන් ලබන මානසික සුවය මිස ඔවුන්ට ලැබෙන වෙනත් කිසිවක් නැත. මන්දයත් ඔවුන් රාජ්‍ය දේපළ කොල්ලකරුවන් නොවන හෙයිනි.

පොදුජන පෙරමුණේ බොහෝ නායකයන්ගේ තවත් උදාන පාඨයක් වන්නේ බලය ලැබුණු වහාම 19 වැනි සංශෝධනය අහෝසි කිරීමය. අඳෝමැයි!

19 වැනි සංශෝධනය අනුමත කරන ලද්දේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙනි. සියලු පක්ෂවල එකඟත්වයෙනි. එසේ නම් කුමක්ද මේ තදියම?

18 වැනි ව්‍යවස්ථාව ඒකාධිපතිත්වයට පාර කැපුවේය. අධිකරණ ප්‍රධානියා පත්කරන්නේ ජනාධිපතිගේ තනි කැමැත්තෙනි. පොලිස්, අධිකරණ ඇතුළු කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපති විසිනි. එය ප්‍රශ්න කළ නොහැක. මේ නිසා අධිකරණය, පොලිසිය හා රාජ්‍ය සේවය විධායකයේ යකඩ සපත්තුවට යට විය.

එය මර උගුලකි. කවර විවේචන පැවතුණද 19 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වූයේ විධායකයේ තටු කැපීමය. එය බොහෝ දුරට ඉෂ්ට විය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඊළඟට බල ලබා ගන්නට පේවෙන කණ්ඩායම විශේෂ මහාධිකරණවලට හා 19 වැනි සංශෝධනයට එරෙහිව උදැල්ල දික්කිරීමේ අරමුණ පැහැදිලිය. ඔවුන්ගේ පැවැත්ම තහවුරු වන්නේ කැලේ නීතිය යටතේය. හොරකම් මැරකම්වලින් ආරක්ෂා විය හැක්කේ කලින් තිබූ පිළිවෙතෙට යෑමෙනි.

ඒ නිසා එන පොට හොඳ නැත.

මාතෘකා