පෝස්ටර් කටවුට් ඉවත් කිරීම

පෝස්ටර් කටවුට් ඉවත් කිරීම

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පෝස්ටර් කටවුට් සහ කොඩිවැල්වලින් මඟ දෙපස වැසී යෑම මෙරට දේශපාලන සංස්කෘතියේ නිත්‍ය අංගයකි. ගොඩනැඟිලි තාප්ප සහ පොදු ස්ථාන මේ නිසා අපවිත්‍ර වේ. මැතිවරණයක් නිම වීමෙන් පසුව එම ස්ථාන යකුන් නැටූ පිට්ටනි බවට පත් වෙයි. නොදිරන ද්‍රව්‍ය පරිසරයට තර්ජනයක් වෙයි.

මෙය වළක්වනු වස් මැතිවරණ දෙපාර්තමේන්තුව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමේ පියවර ගත්තේය. ඒ අනුව පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් කම්කරුවන් දෙදෙනකු බැගින් පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ගැනිණ. එහෙත් නොහික්මුණු අපේක්ෂකයන්ගේ ක්‍රියා නිසා අලවන විට ගැලවීමේත් ගලවන විට ඇලවීමේත් ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිය. මේ වනාහී පසුගාමී දේශපාලන සංස්කෘතියේ ස්වභාවයයි. එය වෙනස් කිරීම පොලිසියට හෝ හමුදාවට කළ හැක්කක් නොවේ.

එය දේශපාලකයන්ගේත් ආධාරකරුවන්ගේත් ස්වයං විනය පිළිබඳ ගැටලුවකි.

කුණු වූ දේශපාලන සංස්කෘතියක වුවද මඩෙහි නෙළුම් පිපෙන්නාක් මෙන් පරිසරය උලා නොකා ඡන්ද සටන මෙහෙයවන මහජන නියෝජිතයෝ හමුවෙත්. කරු ජයසූරිය යනු ඒ සඳහා දැක්විය හැකි මහත්මා දේශපාලනයේ සංකේතයකි.

ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලියේදී පමණක් නොව මැතිවරණ සටන්වලදීද පරිසරයට හානිකරන පොලිතීන් ඇතුළු නොදිරන ද්‍රව්‍ය මුදා හැරීමෙන් වළකී. ජනාධිපතිවරණයට තම පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම සඳහා පසුගියදා ගාලුමුවදොරදී පැවති දැවැන්ත ජනරැලියෙන් පසුව එම භූමිය අපවිත්‍ර කරන කිසිම දෙයක් ඉතිරි නොකිරීමට සංවිධායකයෝ වගබලාගත්හ. මෙය සෙසු පක්ෂවලටද කදිම ආදර්ශයකි.

පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව රට පුරා කටවුට් හා පෝස්ටර් උන්මාදයක් දිස් විය. මෙය කෙතරම් පහත් මට්ටමට වැටුණේද යත් බේරුවල නගරසභාවේ කුණු ලොරියක පටවා එම අපේක්ෂකයාගේ මුහුණ ඇතුළත් කටවුට් ගෙන යන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණ.

හිටිඅඩියේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි එම අපේක්ෂකයාට සහාය පිණිස ප්‍රදර්ශනය කර තිබූ පුවරු පක්ෂය විසින්ම ඉවත් කරන බවට ප්‍රචාරය කෙරිණ. මෙය රට පුරාම ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කර තිබේ.

බැලූ බැල්මට මෙය ඉතා යහපත් ක්‍රියාවක් බව පෙනේ. අරමුණ කුමක් වුවත් මේ ක්‍රියාව හොඳය. එසේ නම් මුලදී මේ ක්‍රියාවලිය ඉවසා සිටියේ හෝ පවත්වාගෙන ගියේ මන්ද යන ගැටලුව ඇති වේ. ජනාධිපති සටන සඳහා නාම යෝජනා ලැබීම පිළිබඳ අවිශ්වාසය මත මේ තීරණයට එළඹ තිබේ නම් එය ඇතැමුන්ගේ අනුකම්පාවටද ඇතැමුන්ගේ සිනාවටද නිමිත්තකි.

දේශපාලකයා ප්‍රතිපත්තිගරුක විය යුතුය. අවස්ථාවේ හැටියට පරිසර හිතකාමී වීම හා මානවවාදී වීම ප්‍රතිපත්තිය නොවිය යුතුය.

අපේ රටට අවශ්‍ය වන්නේ ඉදිරි දැක්මක් ඇති නායකයෝය. ප්‍රතිරූප පුම්බාගන්නන්ගේ ඇතුළාන්තය එක්කෝ හිස්ය. එක්කෝ විසකුරුය. ශ්‍රී ලංකාව තවදුරටත් වැඩවසම් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන්නන් හට ප්‍රතිරූපය අවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රවේණිදාසයා තම වහල් බව පෙන්විය යුතුය. කසකරුවෝද නැට්ටුවෝද ඉදිරියෙන් යා යුතුය.

එක්තරා දේශපාලකයකුගේ ප්‍රතිරූපය පුම්බා රට පුරා දැවැන්ත කටවුට් ඉදිකරන පුද්ගලයකුගේ භූමිකාව කසකරුවාගේ හා ප්‍රවේණිදාසයාගේ භූමිකාවෙන් ඔබ්බට යයි. ඔහුට එය ලාභ ලබන ව්‍යාපාරයකි. තමන් ප්‍රතිරූපය පුම්බන දේශපාලකයාට බලය ලැබුණු පසුව ලාභ ලබන ව්‍යාපාරික සහාය ලැබේ. එනිසා පරාජයෙන් පසුවද නැවත නැඟිටීම සඳහාත් කෘතගුණ සඳහාත් කටවුට් ප්‍රදර්ශනය කෙරේ. මේ සියල්ල පිටුපස ඇත්තේ අවස්ථාවාදය හා දේශපාලන වාසි ලබමින් කෙරෙන ජාවාරමයි.

මාතෘකා