අතිදුර්ජන වැඩවර්ජන

අතිදුර්ජන වැඩවර්ජන

‘අතිදුර්ජන වැඩවර්ජන’ යනු අලුත් යෙදුමකි. මෙය සිංහල වාක්කෝෂයට හඳුන්වා දෙනු ලැබුවේ මහාචාර්ය කාලෝ පොන්සේකා විසිනි. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයාය. ලංකාවේ දිවමන් වෛද්‍ය වෘත්තිකයන්ගේ නාමාවලියෙහි මුල් පෙළේ ස්ථානයක් ඔහුටෙ හිමිය. වෘත්තිය ආචාර ධර්ම ආරක්ෂා කිරීම අතින් වෛද්‍යවරුන්ට ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම් බොහෝය. අතිදුර්ජන වැඩවර්ජන යෙදුම මහාචාර්යවරයා භාවිත කළේ මීට වසරකට පමණ පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානීන් ඔහු හමුවූ අවස්ථාවකය.

ලබන 22දා යළි වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය ප්‍රකාශ කර ඇති හෙයින් කාලෝගේ ප්‍රකාශය නැවත සිහිපත් කිරීම කාලෝචිතය.

"ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරුන් යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන්ද වෘත්තීය ගුණාත්මක බවෙන්ද වැටුප් හා අනෙකුත් පහසුකම්ද සැලකීමේදී වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරුන්ටද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට නම් මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන හැටියටයි."

වෛද්‍ය සංගම් නියෝජිතයන් අමතා එදා එසේ ප්‍රකාශ කළ කාලෝ අනතුරුව "මෙන්න වැන්දා. වර්ජනය කරන්න නම් එපා" යැයි කී අයුරු මාධ්‍ය ඔස්සේ මුළු රටටම දැකගත හැකිවිය. මෙය එදින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කළ දෙයක් නොවීය. සයිටම් විරෝධී අරගලයට ප්‍රසිද්ධියේ සහාය දුන් මහාචාර්යවරයා ලවා වර්ජනයට ආශීර්වාද ලබා ගැනීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අපේක්ෂාව විය. එහෙත් ඔවුන්ට සිදු වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකි. එදායින් පසුව එම සංගමය කාලෝ සමඟ පයිරුපාසානම් පවත්වන්නට ගිය වගක් අසන්නට නොලැබේ.

බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය ඇතුළු චෝදනා අටක් මෙවර වර්ජනයට හේතු ලෙස ඉදිරිපත් කර ඇත. මේ චෝදනාවලට රජයේ පාර්ශ්වයෙන් සෞඛ්‍ය ඇමතිවරයා දැනටමත් පිළිතුරක් දී ඇත. චෝදනා සනාථ කිරීම සඳහා කරුණු දැක්වීම සංගමයේ වගකීමකි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිතර වර්ජනවලට පෙලඹීම පිටුපස ඇති සැබෑ හේතුව අනාවරණය කළ යුතුය. වෛද්‍යවරයාට ඇති විකල්පය වර්ජනය ලෙස තේරුම් ගැනීම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි. අනෙක් අතට වත්මන් ජනාධිපතිවරයා, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛව රජය සෞඛ්‍ය ප්‍රතිපත්ති මහජනයාට හිතකර ලෙස දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් සිටින යුගයක බහුජාතික ඖෂධ සමාගම්වල විරෝධය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔස්සේ ප්‍රකාශ වීම කුකුස දනවන්නකි.

මේ සංගමය නැවත දේශපාලන බලය උදුරා ගැනීමට පේවෙන දේශපාලන කල්ලි සමඟ සමීප සම්බන්ධකම් පවත්වන බව හොඳින්ම ඔප්පු වූයේ ඉන්දියාවෙන් නොමිලේ ලබා දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට මෙකී පාර්ශ්ව දෙකම එකවර විරෝධය පෑම ඔස්සේය. එය පැහැදිලිවම දේශපාලන වුවමනාවකි.

වත්මන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇතැම් වෛද්‍යවරුන්ගේ වක්‍ර ආදායම් මාර්ගවලට මරු පහරක් විය. එනිසා ආණ්ඩුව කෙරෙහි බද්ධ වෛරයක් ඇතිවිය. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ තීන්දුවෙන් කොමිස් කාක්කන්ට බැට වැදුණි. ඖෂධ සමාගම් පිනවීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වීම එම සමාගම්වලින් වාසි ලබාගත් අයගේ කෝපයට හේතු විය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වත්මන් ආණ්ඩුව කරමින් තිබෙන ආයෝජන වෙන කිසිම අවධියක නොවූ තරම් බව විරුද්ධ මත දරන්නෝද පිළිගනිති. තම වෘත්තිය ආචාරධර්ම තඹේකට මායිම් නොකරමින් පුද්ගලික වෛද්‍ය සේවාවලට අනුගත වන රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමේ කන්‍යාභාවය තිබේ යැයි සිතිය නොහැක.

හිපොක්‍රටීස් දිවුරුම දී වැඩ අරඹන වෛද්‍යවරුන් අතර වෛද්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරන වෛද්‍යවරු හිඟ නොවෙති. එනිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැසිරීම සමස්ත වෛද්‍යවරුන්ගේ හැසිරීම ලෙස පිළිගත යුතු නැත. කෙසේ වුවද වරප්‍රසාදලාභී වෘත්තිකයන් පිරිසක් අවවරප්‍රසාදිත පුද්ගලයන් විපතේ හෙළමින් සිදු කරන වර්ජන

ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ පිළිකුලට හේතුවනු නිසැකය.

මාතෘකා