පුරුදු රෝහලට සැපත් වෙන ‘බන්ධනාගාර ප්‍රභුන්’

පුරුදු රෝහලට සැපත් වෙන ‘බන්ධනාගාර ප්‍රභුන්’

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිර මැදිරියක ආරක්ෂක රැකවල් මැද සිටි බව කියන හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර නැමැත්තා හදිසියේම රෝගාතුර වී ඇත. එලෙස රෝගාතුර වූ ඔහු තංගල්ල රෝහලට ඇතුළු කර ඇත.

රෝගී වූ කාරණාව සත්‍ය නම් ඔහු රෝහල්ගත කිරීමෙහි ගැටලුවක් නැත. එහෙත් අප දන්නා තරමට බොහෝ ‘බලවතුන්’ බන්ධනාගාර වූ විට ඒකාන්ත ‘රෝගී’ තත්ත්වයට පත් වේ.

පසුගිය වකවානුවේ විවිධ චෝදනා යටතේ බන්ධනාගාරගත කෙරුණු බොහෝ දෙනා නැවතුණේ බන්ධනාගාර රෝහලේය. සමාජයේ ප්‍රභූන් යැයි ලේබල් ලද සමහරු සිරගත කරනු ලැබීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහල තුළ ජීවත් වීමේ විශේෂ වරප්‍රසාදයක් භුක්ති විඳින බවට පසුගිය කාලය තුළ විවේචන එල්ල වෙමින් තිබිණි. සිරගත කෙරෙන දේශපාලනඥයන්ට පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ටද බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබා දීමට එහි වෛද්‍යවරුන් කටයුතු කර ඇති බව ප්‍රකට රහසකි.

බන්ධනාගාරගත වන 'ලොකු අය' පිළිබඳ මෑත කාලීනව නිතර අසන්නට ලැබෙන පුවත වන්නේ 'අසනීප තත්ත්වය හේතුවෙන්' බන්ධනාගාර රෝහලට මාරු කර හැරී බවය. ඒ අනුව ඉකුත් කාල සීමාවෙහි බන්ධනාගාරගත වූවන්ගෙන් වැඩි පිරිසක් නැවතුණේ බන්ධනාගාර රෝහලේය.

‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න බන්ධනාගාරයට ඇතුළු වන ගේට්ටුව අසල දක්නට ලැබෙන සුවිශේෂ වැකියකි. එහෙත් සත්‍ය වශයෙන්ම බන්ධනාගාරය සිරකරුවන්ට මනුෂ්‍යයන්ට සේ සලකනවාද යන්න උභතෝකෝටිකයකි. අටෝරාසියක් ප්‍රශ්න බන්ධනාගාර තුළ පවතී.

සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිතව පවතින අතර සුදුසුකම් ලත් වෛද්‍යවරු ඒවායේ සේවය කරති. බන්ධනාගාර රෝහල පිහිටා තිබෙන්නේ අසනීප වන රැඳවියන්ට ප්‍රතිකාර කරනු පිණිසය. අඩි 8ක් දිග සහ අඩි 4ක් පළල කුඩා සිර කුටියක රඳවා තැබීම සිරගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය වන අතර එහිද වසනු නොරිසි පිරිසක් ස්වකීය දඬුවම් කාලය ගත කිරීමට බන්ධනාගාර රෝහල යොදා ගනිති.

බන්ධනාගාර ගත වන රැඳවියකු රෝහලට ඇතුළත් කරනවාද යන්න තීරණය කරන්නෙ බන්ධනාගාර ආඥා පනත යටතේය. එම තීරණය ගන්නේ බන්ධනාගාර අධිකාරියෙන් වන අතර බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කරනවාද පෞද්ගලික රෝහලකට මාරු කරනවාද යන්න තීරණය කරන්නෙත් යම් යම් නීති රෙගුලාසිවලට අනුවය.

එමෙන්ම අදාළ රැඳවියා රෝහලට මාරු කර යවන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා නැත්නම් අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතුය.

කුමන හෝ රෙගුලාසි මත වරප්‍රසාද ලත් බොහෝ පිරිස් වෙත 'බන්ධනාගාර රෝහලේ' සහනය ලැබී තිබේ.

රටක ජීවත් වන සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමි විය යුතුය. එය මානව අයිතියකි. නීතිය යනු සියලු දෙනාම සාධාරණත්වය පතන තැනකි. එවැනි තත්ත්වයක් තුළ වරප්‍රසාද ලත් පිරිසට පමණක් එහි ඉඩ ප්‍රස්ථා සැලසීම අවාසනාවකි.

දඬුවමක් ලැබෙන්නේ නීති ප්‍රකාරවය. එකී දඬුවම විඳිනු වෙනුවට හොර පාරෙන් ගොස් විකල්ප සෙවීම 'ලැජ්ජා සහගත' තත්ත්වයකි. 'පොදු සමාවන්' ඉල්ලා බලපෑම් කරන්නේත් බන්ධනාගාර රෝහලටම යන්න අවසර පතන්නේත් බොහෝ විට ස්වකීය බල අධිකාරියේ මහිම පෙන්වාය.

හැබෑවටම රෝගී වූවෝ, අත පය පවා අහිමි වූවෝ ඒ වෙනුවෙන් නිසි ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව බන්ධනාගාරය තුළ ළත වෙති. කෙසෙල් කැනක් කැපුවාට දඬුවම් විඳින්නෝත් උදළු මිටකට ගොබුඩු ලීයක් කපන්නට ගොස් අත්අඩංගුවට පත්ව ඇප ගෙවා ගත නොහැකි වූවෝත් බන්ධනාගාරයේ අපා දුක් විඳිති.

එවන් අහිංසකයන් වෙනුවෙන් කිසිවකු 'පොදු සමාව' ඉල්ලන්නේ හෝ බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස ඉල්ලන්නේ නැත.

එහෙත් සියලු ඉල්ලීම් 'ලොකු උන්ට'ය.

මාතෘකා