මූල්‍ය කළමනාකරණය හා විනිවිද බව රැකීම

මූල්‍ය කළමනාකරණය හා විනිවිද බව රැකීම

කෝප් කමිටුවේ (cope; the committee of public enterprises පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව) රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගෝස්තු 9 දා සිට ක්‍රියාත්මක වෙයි. මේ සඳහා අදාළ පරිශ්‍රයේ නවීන තාක්ෂණික කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. මෙය විවෘත කිරීම සඳහා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කතානායක කරු ජයසූරිය හා යුරෝපා සංගමයේ නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් සහභාගි විය. කැමරා පද්ධතිය ලැබුණේ යුරෝපා සංගමයෙනි. මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. කතානායකවරයා මෙහි වැදගත්කම අවධාරණය කරමින් කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළම තත්වයකට පැමිණීමේ අවස්ථාවක් බවය. එමෙන්ම මෙහිදී මාධ්‍යය වගකීමෙන් තම කාර්යභාරය ඉටු කළ බවය.

ඉදිරියේදී ආංශික කාරක සභා කටයුතුද මාධ්‍යයට විවර කරමින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව කතානායකවරයා පැවසුවේය. කරුණු කිහිපයක් නිසා මේ ක්‍රියාදාමය වැදගත් වෙයි. ඉන් පළමු වැන්න නම් රාජාණ්ඩු බිඳ වැටී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දියත් වන රටක් හැටියට රජා සහ වහලා පිළිබඳ සාම්ප්‍රදායික චින්තනයේ ශේෂ තවමත් දක්නට ලැබීමය. ඒ අනුව රජා හොරකමක් දෙකක් කළ පළියට වහල් රට වැසියන් කලබල විය යුතු නැත. රජු රට රකින නිසා ඔහුට හොරකමක් දෙකක් කිරීමේ අයිතිය තිබිය යුතුය. මේ වනාහී වැඩවසම් වහල් චින්තනයයි. මෙසේ සිතන රටවැසියෝ තවමත් සිටිති. එනිසා රාජ්‍ය ධනය වංචා කරන වංචනිකයන්ට බුරුලක් ලැබේ. එහෙත් සබුද්ධික රටවැසියෝ එම මජර චින්තනය ප්‍රතික්ෂේප කරති. එනිසා දූෂණයට, වංචාවට වැට බඳින ක්‍රමවේද වෙනුවෙන් පෙනී සිටිති. කෝප් කමිටුවෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන්නෝ ඔවුහුය.

කෝප් කමිටුව පත්කරනු ලබන්නේ සෑම පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම තේරීම් කාරක සභාව විසිනි. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යෑම සඳහා කටයුතු කිරීම මෙහි වගකීමයි. ඒ අනුව එම ආයතනවලට අයත් ලිඛිත නීතියට යටත්වන ගිණුම් හා විගණන කටයුතු පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි වගකීමයි. මෙයින් පැහැදිලි වන්නේ කෝප් කමිටුවේ ක්‍රියාවලිය රටක මූල්‍ය විනය පවත්වාගෙන යෑම සඳහා අතිශයින් වැදගත් වන බවය.

තවත් කරුණක් සිහිපත් කළ යුතුය. එනම් කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව විසින් මඟ නොහැරිය යුතු බවය.

වත්මනෙහි කෝප් කමිටුවේ සභාපති ධුරය හොබවන්නේ දූෂණයෙන් තොර පක්ෂයක් හැටියට පිළිගැනෙන දේශපාලන පක්ෂයක මහජන නියෝජිතයෙකි. මීට කලකට පෙර එම කමිටුවේ කටයුතු කළ ඩිව් ගුණසේකර මහතාද දූෂණ වංචාවලින් තොර මහජන නියෝජිතයකු ලෙස කීර්තිය දිනාගෙන සිටියේය. එහෙත් එබ‍ඳු පුද්ගලයන්ට මුල් පුටුව හිමි වූ පමණින් කෝප් කමිටුව පල දරන්නේ නැත. කමිටුවේ නිරීක්ෂණවල ප්‍රතිපල ප්‍රායෝගිකව පෙනෙන්නට තිබිය යුතුය. ඩිව් ගුණසේකර මහතාද මීට පෙර එම චෝදනාව ඉදිරිපත් කර ඇත.

කෝප් කමිටුවෙන් අනාවරණය වන මූල්‍ය අක්‍රමිකතා නිවැරදි කිරීම හා ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම කෝප් කමිටුවේ වගකීමෙන් එහාට ගිය එකකි.

කතානායකවරයා මාධ්‍යය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද වැදගත්ය. එනම් වගකීමෙන් කටයුතු කිරීමය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලීමේ තේරීම් කාරක සභාවද මාධ්‍යයට විවෘත කෙරිණ. මේ පිළිබඳ මහජන උනන්දුවක් ඇති වීමටද එය බලපෑවේය. එහෙත් තේරීම් කාරක සභාවට සහභාගි වන්නන්ගේ සාක්ෂි දීම් තමතමන්ට ඕනෑ අර්ථ කථනවලට ලක් කරමින් ජනමතය නොමඟ යැවීමටද ඇතැම් මාධ්‍ය කටයුතු කළේය.

මාධ්‍යයට විවෘත වීම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අර්ථවත් කිරීමකි. එහෙත් ඇතැම් මාධ්‍යයට එම ප්‍රජාතන්ත්‍රවාදය පෙනෙන්නේ ආණ්ඩුවේ නිවටකමක් හැටියටය. නිදහස දැනෙන්නේ වල්බූරු නිදහසක් හැටියටය. එම නිසා නිවැරදි තොරතුරු සන්නිවේදනය ඇණ හිටී. මාධ්‍යය කළයුත්තේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වගකීම ඉටු කිරීමය.

මාතෘකා