ඔප්පු සහ ජීවිත

ඔප්පු සහ ජීවිත

වත්මන් ආණ්ඩුව කරන යහ කාර්යයන් අතර ඉඩම් ඔප්පු බෙදාදීම ප්‍රශස්තම ක්‍රියාවක් ලෙස දැක්විය හැක. එය වඩාත්ම ප්‍රශංසනීය වන්නේ පරම්පරා ගණනක් තිස්සේ ඉඩමක අයිතිය අහිමිව දුක් විඳි ජනතාව දෙස බැලූ විටය.

මීට ටික කලකට පෙර පුවත්පතක, ‘ඔබට ඉඩමක ඔප්පු තිබිය හැකිය. එහෙත් ඔබ එම ඉඩමක අයිතිකරු විය නොහැකිය’යන ශීර්ෂය යටතේ පළ කරන ලද ප්‍රවෘත්තියක් විය. එය කොතෙක් දුරට සත්‍ය ප්‍රවෘත්තියක්ද යන්න සනාථ වන්නේ මෙරට ව්‍යාජ ඔප්පු පිළිබඳව සලකා බලන විටය.

ජීවිතයේ අත්‍යවශ්‍ය හිමිකමක් ලෙස නිවසක් අයත්වන අතර ඊට ඉඩමක් අවශ්‍යමය. ඒ නිසා මිනිසකු ඉඩමක් මිලදී ගන්නේ බොහෝ විට ස්වකීය ජීවිතයේ සන්තක සියලු වස්තුව වියදම් කරමින්ය. ඒ අයුරින් මිලට ගන්නා ඉඩම ‘ව්‍යාජ ඔප්පුවක්’ වුවහොත් සිදුවන තත්ත්වය කෙබඳුද?

ලාංකිකයන් හැටියට අදටත් අපි ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම සිදු කරන්නේ සුද්දන්ගේ කාලේ ආරම්භ කළ 1863 අංක 08 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ පනත මුල්කරගෙනය.

වංචා සහගත ලෙස සැකසූ ව්‍යාජ ඔප්පු යොදාගෙන දේපළ ඉඩකඩම් විකිණීම් නිරන්තර අසන්නට ලැබේ. ඊට අදාළ පැමිණිලිවලද කෙළවරක් නැත. මෑතකදී වාර්තා වූයේ මෙරට ඔප්පුවලින් 42%ක් ව්‍යාජ ඔප්පු බවය.

ඉඩම් සඳහා හොර ඔප්පු සකස්‌ කොට අලෙවි කිරීමේ මහා පරිමාන ජාවාරම අද වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ බස්‌නාහිර, දකුණ, වයඹ, මධ්‍යම පළාත් තුළය.

මෙය කොතරම් බරපතළ උවදුරක්ද යන්න තවමත් සමාජයේ කතිකාවට බඳුන්ව නැත. හුදකලා සිදුවීමක් දෙකක් ලෙස මතුව නැවත යට යන සිදූවීම් ජාලයක් බවට මෙය පත්ව ඇත. මෙම සිද්ධීන් පිළිබඳ භයානක ලක්ෂණයක් වනුයේ මේ රටේ පදිංචි වී නොසිටින ඉඩම් හා නිවාස හිමියන්ගේ ඉඩම් හා නිවාස විකිණීම සඳහා එම අයිතිකරුවන්ගේ අත්සන් කූට ලෙස යෙදීමේ මෙම වංචාකරුවන් සාර්ථක ලෙස ක්‍රියාකර ඇති බවට වාර්තා වීමය.

පාසල්වලට ඇතුළත් කිරීමට ව්‍යාජ සහතික සකස් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අතර වඩාත් දරුණු තත්ත්වය බවට පත්ව තිබෙන්නේ අනුන්ගේ දේපොළ අත්පත් කරගන්නට ව්‍යාජ ඔප්පු සකස් කිරීමය.

ආරක්ෂා සහිත ලෙස ගබඩා කර ඇති වැදගත් ලිපි ලේඛන විනාශ කිරීම සඳහා සහ මකා දැමීම සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රහස්‍ය ස්ථානවලට ඇතැම් වංචාකරුවන් ප්‍රවේශ වී ඇත. අනතුරුව අයිතිකරුවන් නොමැති රුපියල් මිලියන ගණනක් වටිනා නිවාසවලට හොරුන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කරයි.

ඉඩමක අයිතිය සනාථ කිරීමට ඔප්පුවක් පමණක් ප්‍රමාණවත් නොවේ. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ඇති ඔප්පුවක අනුපිටපතේ සහතික පිටපතක් තුළ ඔප්පුවක් සහතික කරන නොතාරිස්වරයකු විසින් අනිවාර්යයෙන් එම ඔප්පුවේ අනුපිටපතක් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යැවිය යුතුය. අනුපිටපත යනු එයයි. එම අනුපිටපත සමඟ මුද්දර ගාස්තුව ගෙවූ ලදුපතද යැවිය යුතු අතර ඉඩම් අයිතිකරුගේ ඉඩම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විසින් එහි ලේඛනාගාරවල එම අනුපිටපත ආරක්ෂා කරනු ඇත.

අදාළ ඔප්පුව ලියාපදිංචි කර ඇති අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පත්ඉරුවල සහතික පිටපත් ලබා ගැනීමද අත්‍යවශ්‍යය. එම පත්ඉරු මඟින් අයිතිය ඔප්පු කිරීම සඳහා ඇතැම් අවස්ථාවල අතීතයේ අවුරුදු 50කට වැඩි කාලයක් තුළ ඉඩමේ අයිතිය පැවති ආකාරය සොයාගත හැකිය. උද්ධෘත නොමැතිව ඉඩමක් අලෙවි කළ නොහැකි බැවින් යම් අයකුට ඉඩමක් විකිණීම හෝ උකස් කිරීමද කළ නොහැකිය.

මාතෘකා