ප්‍රීතිමත් පිටස්තරයාගේ කතා වස්තුව

ප්‍රීතිමත් පිටස්තරයාගේ කතා වස්තුව

ජෝන්-බර්නාඩ් හොන් සහ ඔහුගේ බිරිඳ ලෝරන්ස් ජීවත් වන්නේ ප්‍රංශයේ බටහිර මුහුදු වෙරළ තීරය ආසන්නයේ අපූරු ඉසව්වකය. වස විස මුසු ආහාර රටාවන්ගෙන් මෙන්ම ජීවන රටාවන්ගෙන් වෙන්ව ජීවත් වීමට ඔහු ගත් වෑයමෙහි ප්‍රතිඵලය වූයේ අසිරිමත් කාබනික නිම්නයක හරිත අඩවියක් තනාගත හැකි වීමය.

නවීන යන්ත්‍රෝපකරණ, කෘමිනාශක වර්ග වෙනුවට තම මුතුන් මිත්තන් භාවිත කළ පැරණි ක්‍රම යොදා ගනිමින් හෙතෙම සිය ගොවිතැන සිදුකරගෙන යයි. කාබනික පොහොර පමණක් යොදා ගෙන කරන වගාවෙන් ලැබෙන වස විස නැති ආහාර නිෂ්පාදන හෙතෙම තම සමීපතමයන්ට අලෙවි කරයි; එක්කෝ නොමිලේම දෙයි.

එයින් තෘප්තියක්ද ලබයි. එළදෙනුන් අට දෙනකු ඔහු සතු අතර උන්ගෙන් ලැබෙන කිරි තම දෑත්වලින්ම දොවා, වගාවෙන් ලබාගත් ඇට වර්ගවලින් පිටි අඹරා ආහාර පිළියෙල කරගනී. ගොම පොහොර එකතු කර වගාවට දමා ඉස්තරම්ම කාබනික පොහොර නිපදවා ගනී.

ගොවිපොළෙහි වගා කළ ඇපල්වලින්ම නිෂ්පාදනය කළ බීර බැරල්වලට දමා සීල් කරන ඔහු ඌරු මස්, හරක් මස් සහ බටර් පිටතින් ගෙනෙන්නේද නැත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා මිනිසුන්ගේ ජීවන රටාවන් වෙනස් වූ අතර නවීනත්වය සහ අධිවේගී තරගකාරීත්වය සියල්ලට වඩා පෙරට ආවේය.

නමුත් ජෝන්-බර්නාඩ් සහ ලෝරන්ස් සහමුලින්ම සොබාදහම සමඟ ජීවත් වෙති.

එහෙත් නවීන ගොවියන් හෝ ගොවිතැන් ක්‍රමවලට ඔහු විරුද්ධ නැත. ඔහු පවසන්නේ රසායනික පොහොර විසින් ලෝකය ඉතා කඩිනමින් බිලිගන්නා බවය. හැත්තෑ වියැති ජෝන්-බර්නාඩ් තමා හඳුන්වනු ලබන්නේ "ප්‍රීතිමත් පිටස්තරයකු" ලෙසය.

ලෝකයේ සාම්ප්‍රදායික ගොවිතැනෙහි අගතැන්පත් රටක් ලෙස අපේ රට ප්‍රකටය. මෙරට තිබෙන සාරවත් පස අමුතුවෙන් රසායනික යොදා සරු ගන්වන්නට අවැසි නොවීය. එහෙත් කාලානුරූපීව කෘෂි හා කෘමි රසායනවලට මෙරට හුරු විය.

දැන් රටම ඊට පත්තියම් වී තිබේ. එබැවින් ප්‍රීතිමත් පිටස්තරයකු මෙරටින් සොයා ගැන්මට වඩා කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් නොව අබ බුසලක් වුව සොයා ගැන්ම පහසුය.

වසරක් තුළ මෙරටට ආයතන 23ක් මඟින් කෘමිනාශක මෙ.ටොන් 4000ක් ගෙන්වනු ලබයි. සමස්ත පරිසර පද්ධතිය සසල කොට වනසා දමන්නට ඊට ඉතා පහසුය.

මේ වකවානුව තුළ වගාවන්ට හිතකර කෘමි සතකු සොයාගන්නටවත් නැත. සමහර අවස්ථාවක වසංගත කෘමීන් ‍හා එම කෘමීන් පාලනය කරන ඵලදායී පරපෝෂිතයන් හෝ විලෝපීයන් (Predator) කෘමිනාශක භාවිතයෙන් නැසිය හැක. දැනටත් උන් සියල්ලෝම පාහේ 'විනාශ වී' හමාරය. කොළ පැහැ එළවළුවල සියයට සියයක්ම පළිබෝධනාශකය. සාරවත් පස් වෙනුවට කෘත්‍රිම ලෙස වියරු වට්ටවනු ලැබූ පසක් බවට පොළොව පත්වී හමාරය.

රසායනික පොහොර භාවිතයෙන් අස්වැන්න ඉහළ යන බවට වන කතාව සහමුලින්ම මිථ්‍යාවක්ය. සංඛ්‍යාලේඛන කිසිවකින් එවැනි ඉහළ යෑමක් පෙන්වන්නේ නැත. ඉහළ ගොස් ඇත්තේ රසායනික මඟින් 'බෝනස්' ලෙස ලැබුණු බෝ නොවන රෝග මල්ලක්ය.

පොහොර සහනාධාරය කලක් තිස්සේ මෙරට ක්‍රියාත්මකය. එය දේශපාලන පොරොන්දු මල්ලෙහි 'සංවේදී' දීමනාවකි. එය ඉවත් කරනවා යනු ආණ්ඩුවක් කරකවා අතාරින්නට හේතු වන 'පාපකර්මයකි'. සහනාධාර යනු ජීවන රටාවෙහි උරුමයක් බවට කල්පනා කරන කොටසක් සිටී. එයින් ප්‍රයෝජන ගන්නා දේශපාලන අවස්ථාවාදීහුද වෙති.

ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව ඉතා කඩිනමින් කාබනික පොහොර කෙරෙහි යොමු නොවන්නේ නම් තවදුරටත් යහගුණයෙන් පිරි ජීවිතාපේක්ෂාව සිහිනයක් බවට පත් කර ගැනීම මැනවි.

සත්තකින්ම දැන් අශ්වයා පලාගොස් බොහෝ කල්ය. දැන් කළ යුත්තේ කෙසේ හෝ හඹාගොස් අශ්වයා සොයාගෙන ඒමය.

මාතෘකා