දේශපාලන පාපන්දු

දේශපාලන පාපන්දු

රටකට එකවර සුදු කොඩි දමන්නට සිදුවෙනවා නම් ඒ තරම් අවාසනාවන්ත සංවේගයක් තවත් නැත. ශෝකයෙන් කම්පිතව සුදු කොඩියක් නොදැමූ ගෙයක්, ආයතනයක් ඉකුත් සතියේ තිබුණේ නැත. මීට සතියකට පෙර එල්ල කළ බියගුලු සාතන් ප්‍රහාරයෙන් රටම සසල වූයේ එසේය.

මේ ප්‍රහාරය හෙළා නොදැක්ක රටක් නැත. ඒ තරමටම මානව සංහතිය මේ ඛේදවාචකයෙන් සසල විය.

එහෙත් මේ සියල්ල අතරේ කවදත් මෙරටට උරුම වගකීම එකිනෙකාට 'පාස්' කිරීම තවමත් සිදුවෙමින් තිබේ. 'මේ නිසා මෙය වූ බවත් ඔහු නිසා මෙය සිදු වූ බවත්, ඔහු හිටියා නම් මෙහෙම නොවන බවත් මම හිටියානම් මෙහෙම වෙන්න නොදෙන බවත් ආදී ලෙස සිදුවීමෙන් 'කාලකන්නි වාසියක්’ ගන්නට මේ තීරණාත්මක අවස්ථාවේදීත් සමහරු උත්සාහ කරති.

එකිනෙකා කෙරෙහි චෝදනා එල්ල කරගනිමින් ගතකරන නිෂ්ඵල කාලය මින් ඉදිරියට තුවාලව මරණාසන්නව හිඳින ශ්‍රී ලාංකේය සමාජය සුවපත් කිරීමට යොදා ගැනීම උචිතයැයි කිසිවකු හිතන පාටක් නැත. සියල්ල දේශපාලනික වී තිබේ. සියලු න්‍යායපත්‍ර දේශපාලනික වී තිබේ. සියලු හැසිරීම් දේශපාලනික වී තිබේ.

නොකළ යුතු සියල්ල කර, කළ යුතු සියල්ල නොකරන තැනට පත්ව තිබේ.

මිනිස් ජීවිත රැසක් බෝම්බ ප්‍රහාරවලින් විනාශ වී තිබියදීත් ඒ ප්‍රහාරවලින් මියගිය මිනිසුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු මත සමහරු පාපන්දු ගසමින් සිටිති. පාර්ලිමේන්තුවේ 225 දෙනාමත් වගකීම් විරහිත සියලු දෙනාමත් මෙහි වගඋත්තරකරුවෝය. එයින් ගැළවෙන්නට හැකි කිසිවකු නැත.

සමහරු තමන්ට රිසි පරිදි තම තම රුචිකත්වයන් මත මේ ප්‍රහාරවලට හේතු ගැන විචාර, විවේචන, අර්ථකථන ඉදිරිපත් කරමින් සිටිති. තම රාමුවට හෝ න්‍යාය පත්‍රයට ගැළපෙන කතා සියල්ල මාධ්‍ය තමන්ට උචිත සේ පළකරමින් සිටී. බ්‍රේකිං නිවුස් වර්ෂාවක් වසිමින් තිබේ. වැටලූ තැනක සිට ඒ ගැන වාර්තා කොට අනතුරුව වටලන්නට යන තැන ගැනත් කියයි. මේ අනියම් උපකාරය කරන්නේ සතුරන්ට නොවේද? හොරු අල්ලන්නට එන බව කල්තියා දැනුම් දෙන 'බ්‍රේකිං නිවුස්' ඇත්තේ මේ රටේ පමණක්ම විය යුතුය.

චෝදනා එහෙට මෙහෙට හුවමාරු වෙන අතර බුද්ධි අංශ සාමාජිකයන් හිරේ දැමූ කතාවක්ද කරළියට විත් තිබේ.

එක් අතකින් බුද්ධි අංශ හිරේ දමා තිබෙන බවට වන චෝදනාව අර්ධ සත්‍යයකි. අනෙක් අතට මේ ප්‍රහාරය ගැන බුද්ධි අංශ තොරතුරු ලබා නොදී සිටියේද නැත. අදාළ පුද්ගලයන්ගේ නම් හැඳුනුම්පත් අංක පවා සවිස්තරව ලබා දීමට තරම් බුද්ධි අංශ සක්‍රියව සිට ඇත. යම් යම් චෝදනා මත අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීහු කිහිප දෙනෙක් සිටිති. බුද්ධි අංශයේ නාමයෙන් වැරදි කළ හෝ චෝදනා ලද අයකු වෙත්නම් ඔවුන් ප්‍රශ්න කිරීම හෝ බන්ධනාගාර ගතකිරීම වරදක්ද? කර්නර් මුතාලිෆ් වැනි ගෞරවනීය බුද්ධි අංශ නිලධාරීන්ට පවා ඔවුන් කරන්නේ නිගරුවක් නොවේද?

මේ ඛේදවාචකයේ ඒකාන්ත වාසිය අත්පත් කරගනිමින් ස්වකීය අරමුණු සඵල කරගන්නට වෑයම් කරන කඳවුරු කිහිපයකි. පසුගියදා රූපවාහිනී සංවාදයකට පැමිණි කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කොළඹ සිට සයින්දමරුදු මෙහෙයුම ගැන කිලිපොළා යන බේගල් කියා පෑවේය. ඔහු කැට තියා සහතික කළේ මෙහෙයුමෙන් ආරක්ෂක අංශයේ 11 දෙනකු මිය ගිය බවය.

අපි නැවත සහතික කොට කිවයුත්තක් තිබේ.

මේ ප්‍රකාශය සත්‍ය නොවන බව තහවුරුය. මහජනතාව ව්‍යාකූල කිරීම සඳහා සහ ආරක්ෂක අංශ දුර්වල කිරීම සඳහා මෙවන් ප්‍රකාශ ඉවහල් නොවේද? මේ වනාහි සක්‍රිය කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් නොවේද?

කවුරු කවුරුත් ස්වකීය උජාරුව නඩත්තු කරමින් වගකීම් විරහිත බව තව කාට හෝ පටවා සැනසිල්ලේ සිටින්නේ කෙලෙසද?

මිනිස්සුන්ගේ ජීවිත සමඟ මේ තරම් පිළිකුල්සහගත ලෙස 'පාපන්දු ගසන' දේශපාලන නරාවළක් ලොව කොහේවත් නැතිව ඇති බවය.

මාතෘකා