දැන්වත් එකතු වෙන්න

දැන්වත් එකතු වෙන්න

රට වෙනුවෙන් එකතු වෙන්නට තිබුණු සිය දහසක් අවස්ථා මේ රටේ දේශපාලනඥයන් විසින්ම අනේකවර අත්හැර දමා තිබිණි. ඒකාන්ත බල ලෝභයත් දුර්දාන්ත පටු අරමුණුත් විසින් එකී අවස්ථාවන් තාප්ප ගසා වෙන්කොට තිබිණි. එහි ප්‍රතිඵලය ලෙස මේ රටට ඉතිරි වූයේ ඛේදවාචක, අහිමිවීම්, කුලල් කා ගැනීම් සහ දුර්භාග්‍යසම්පන්න සිහිවටන පමණි. ඔවුන්ගේ බලකාමී අරමුණු නිසා හැමදාකම බැට කෑවේ අහිංසක පුරවැසියා පමණි.

'මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයෙකි' යැයි ඇරිස්ටෝටල් කියා තිබුණද අපේ රටේ සමහර දේ ගැන සලකා බලන විට 'සමහර දේශපාලනඥයන් තිරිසන් සත්තුය' කියා නිවැරදි විය යුතුයැයි සිතේ.

ඔවුන්ගේ පටු ආචීර්ණ කල්පික ආකල්ප සහ කැත න්‍යායපත්‍ර නිසා එකට එක්ව රටක් ගොඩනඟන අපේක්ෂාවක් තියා එවන් සිහිනයක්වත් ඇති බවක් පෙනෙන්නට නැත.

විවිධ වූ මාෆියාවන්ගෙන් ගහන රටක සත් චේතනාවෙන් කටයුතු කිරීම එක්තරා අරුමපුදුම සිහිනයක් විනා සැබෑවක් නොවේ.

ප්‍රචණ්ඩත්වය නොදරු වියේ සිටම සිතට කාවද්දන සමාජයකින් නිවැරදි විනිශ්චයක් බලාපොරොත්තු විය හැකිද? ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගත් රාමු සහිත සමාජයක මානවවාදී ඉදිරියක් ගැන බලාපොරොත්තු තැබිය හැකිද? ජාතික ව්‍යසනයකදී පවා 'හැසිරීම' බල පොරය මත සිදුවන විට ඉන් ඔබ්බට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

පාසල් ගියා හෝ නොගියා සිංහල භාෂාව 'වාචාල ලෙස' භාවිත කරන්නට කෙනකුට හැකියාව පවතී. හැදියාව නැති කෙනකුට එකී හැකියාව ලැබුණු විට උමතුවෙන් මෙන් හැසිරේ. තමා දන්නා වචන යොදාගෙන හතර අතේ කියවමින් සමාජය කුලප්පු කිරීමෙහි යෙදේ.

එය අනිවාර්ය ස්වභාවයයි.

නිදහසින් පසු මේ රටේ ජාතික ව්‍යසන බොහෝ සිදුව තිබේ. එහෙත් එකී ව්‍යසනයන් තමන්ගේ 'ඔරුව දියත් කිරීමේ ජල පහරක්’ බවට පත් කළ හැක්කේ කාටද?

සුදෝ සුදු දෑත් කාගෙවත් ගාව නැත. අඩුවැඩි වශයෙන් කාගෙ කාගේත් කිල්ලෝටවල හුනුය.

සියල්ල මේ මොහොතේ අමතක කොට එක් ස්ථාවරයකට පැමිණිය යුතුය. මේ රටේ පරමාදර්ශ නැත. රටවැසියා බලා සිටින්නේ නායකයන් ක්‍රියා කරන හැටිය. ඔවුන්ට ඉතිරිව තිබෙන්නෙත් ඒකය. ජනතා පරමාධිපත්‍යය ඔවුන් නායකයන්ට දී තිබේ.

පසුගිය ප්‍රචණ්ඩ ප්‍රහාරය එල්ල වීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් ස්වකීය 'සහයෝගයේ දෑත්' මෙරටට දිගු කරනු ලැබීය. දැන් ඇතැම්හු ඊටද එරෙහිව අවලාද නඟමින් දේශපාලන බෝම්බ පත්තු කරමින් සිටිති. උදවු කරන්නට එන්නන්ට පවා නිග්‍රහ කිරීමේ පිළිවෙතට සමහර දේශපාලන වාචාලයෝ සැහැසි වී සිටිති.

'ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් කියා' කියමනක් තිබේ. ජාතික ව්‍යසනයක් තමන්ගේ 'රජ මඟුලක්' බවට පත් කරගන්නට කවුරුන් හෝ කැසකවනවා නම් එය ත්‍රස්තවාදී ම්ලේච්ඡත්වයට වඩා ම්ලේච්ඡත්වයකි.

නායකයන් අනුගමනය කිරීම ජනතාවගේ සාමාන්‍ය පිළිවෙතය. එබැවින් ජනතාවට යන්නේ නායකයන් ක්‍රියා කරන ආකාරය සහ තීන්දු ගන්නා ආකාරයය. ජාතික ව්‍යසනයක් මොහොතේ තම තමන්ගේ නායකයන් ගන්නා ක්‍රියාමාර්ග බිම් මට්ටමේ අනුගාමිකයෝ ක්‍රියාවට නංවති. එබැවින් නායකයන් ලබා දෙන ආදර්ශය ඉතා වැදගත්ය.

බලය පවත්වා ගැනීම හෝ බලය කරා යන ඔරුව ටිකකට පැත්තකට කොට රට ගොඩනැඟීමේ ඔරුව දියත් කිරීමට එක්විය හැකිනම් අනෙක් ඔරුව පසුව ප්‍රයෝජනයට ගත හැකිය. නැත්නම් සිදුවන්නේ කොයි ඔරුව දියත් කරන්නටත් රටක් නැතිවන එකය.

මාතෘකා