ඇත්ත කියමු

ඇත්ත කියමු

තමන් ගමන් කළ යුත්තේ සත්‍යවාදී නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින්ද; නොඑසේනම් අසත්‍යවාදී විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින්ද යන්න සෑම මිනිසකුම තීරණය කළ යුතුය යනුවෙන් මාර්ටින් ලූතර් කිං පවසා තිබේ.

ඇත්ත කිවයුතුම මොහොත එළැඹ තිබේ. එබැවින් කිසිවකු මේ මොහොතේද බොරු කියන්නේ නම් ඒ වනාහී මුග්ධකමකි. රටක් ලෙස එකට එකතු විය යුත්තේ හැම වෙලාවේදීමය. එහෙත් එහෙම එකතු වන්නේ නැති තරමට රටේ දේශපාලන උන්මත්තකභාවයත් බලලෝභී වුවමනාවනුත් සෙසු සියල්ල පරයා පෙරට විත් තිබේ. සියලු දෙනා බලා සිටින්නේ තමන්ගේ අවස්ථාව ලබා ගන්නටත් ඕනෑම ගං වතුරක ඔරු පදින්නටත්, ඉඩක් තිබුණොත් ඒ ගං වතුරේම හිඳ මාළු බෑමටත්ය.

එබැවින් සාමූහිකත්වය, දයාබරත්වය, පරාර්ථකාමීත්වය යනාදී කාරණා සම්බන්ධව පවතින්නේ එක්කෝ තාවකාලික අර්ථකථනයක්ය. නැත්නම් වචනාර්ථයක් පමණය.

ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ සැණින් 'යකා නැටූ' කිහිපදෙනෙක් වූහ. බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ සැණින් කම්පිතව ලේ අවශ්‍ය නම් දන් දෙන්නට පෝලිමේ සිටි මිනිසුන් මේ රටේ විය. එහෙව් මිනිසුන් මේ මොහොතේ සොයා බලන්නේ අනෙකාගේ වේදනාව පිස ආදරය බෙදා දෙන්නටය. එහෙත් දේශපාලන අවස්ථාවාදීන් උත්සාහ කරන්නේ මරණ තුනක් නොව මරණ සියයක් අද්දර පවා පැණි කන්නටය.

තීරණාත්මක සහ අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු කැඳවීමේදී ස්වකීය ආවේණික පුරුද්ද සමහරු ගෙනහැර පෑහ. 'හදිසි අවස්ථාව' නොතකා හරිමින් රටක් ශෝකී වන ආකාරය තුට්ටුවකට මායිම් නොකරමින් සභා ගැබේ කුලප්පු වෙන්නට පටන් ගත් අපූරු 'මහජන නියෝජිතයෝ' සිටියහ.

රිය අනතුරක් වූ සැණින් රියට ගල් ගසා කුඩු පට්ටම් කොට ගිනි තබන පන්නයේ කෲරතරයන් අපට හමු වෙයි. පාර්ලිමේන්තුවේ අද උදෑසනද එවැනි හැසිරීමක් දැකිය හැකි විය.

පව්කාරයකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම පව්කාරයකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක්ද නැත කියා කතාවක් තිබේ. එනයින් ගත් කල පව්කාරයා තේරුම් ගැනීමේ අපහසුතාව ඉතිරිව පවතී.

දශක ගණනාවක් තිස්සේ මේ රට මනුස්සකම පෑල දොරින් පලායන්නට ඉඩ දුන් රටකි. සැකයේ, වෛරයේ සහ මුග්ධත්වයේ සන් කිරීම්වලට 'හායි' කියා දොරටු විවර කළ රටකි. ආගම්වාදය, ජාතිවාදය සහ ගෝත්‍රිකත්වයට උඩගෙඩි දුන් රටකි.

ඉන්දියාව නමැති මවගේ පියයුරෙන් වැටෙන කිරි බිඳක් සරි යැයි සාහිත්‍යමය වර්ණනාවකින් ඔද වැඩුණු රම්‍ය කොදෙව්ව දේශපාලන අවස්ථාවාදයේ තුවාලවලින් වේදනා විඳින තැනකට පත්ව තිබෙන්නේ දශක ගණනාවක සිටය. ජාතික න්‍යාය පත්‍රයන් අකුලා දමා දේශපාලන න්‍යාය පත්‍ර මේසය මත තබා ගැනීම නිදහසින් පසු ඉතා උග්‍ර ලෙස මේ රට මුහුණ දුන් පාපකර්මයන්ය.

ඕනෑම සත් ක්‍රියාවකට වුවද 'පාට' ඇලවීමේ ඛේදවාචකය දෙකෝටියක් ඉක්මවූ ජනතාවගේ පරමාර්ථයන් හා පෑහෙන්නේ නැත. ඕනෑම සිදුවීමකින් තමාට වාසි කොටසින් අල්වාගෙන අනෙකා දඩයම් කිරීම පුරුද්දක් බවට පත්කොටගෙන තිබේ.

ඒවායේ ප්‍රතිඵල ලෙස තිස් වසරක යුද්ධයත්, තවත් තරුණ කැරලි දෙකකත් තුවාල කැළැල් මේ කොදෙව්වේ ගැඹුරට සටහන්ව තිබේ.

සමහරක් දෙනා දේශපාලන අරමුණු සහ න්‍යායපත්‍ර මත ලැග කටයුතු කරද්දී කාට හෝ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටිය හැකිනම් ඒ තරම් ශ්‍රේෂ්ටත්වයක් තවත් නැත.

'ඇතැම් විට අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත් උන් සමඟ එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.' යනුවෙන් බොබ් ඩිලන් පවසා තිබේ. රටක් එකට එක්විය යුතු මොහොතේ ඊට එරෙහිව කූඩු තනන්නන් ගැන කියන්නට තිබෙන්නේද ඒකමය.

මාතෘකා