යළි ගොඩනැඟෙන ලංගම

යළි ගොඩනැඟෙන ලංගම

අලුත් අවුරුදු සමයෙහි ලංගම වාර්තාගත ආදායමක් උපයා ඇති බව අනාවරණය වේ. මේ වනාහි සුබදායි පුවතකි. අවුරුදුවලට ගම්බිම් කරා ඇදෙන මගීන්ගේ හිතසුව පිණිස ලංගම බස් රථ 1200ක් අමතරව යෙදවීමටද විශේෂ දුම්රිය ගමන් වාර 65ක් යෙදවීමටද පුද්ගලික බස්රථ 600ක් යෙදවීමටද ප්‍රවාහන ඇමතිවරයා පියවර ගෙන තිබිණ.

අවුරුදු සමයෙහි මගී ප්‍රවාහනය පිළිබඳ බරපතළ චෝදනා එල්ල නොවූ බවද පිළිගත යුතුය.

ඒ සමගම අපගේ අවධානයට යොමු විය යුතු කරුණක් තිබේ. එනම් පුද්ගලික ප්‍රවාහන සේවය කෙතරම් පුළුල් වුවද මහජනයාට වගකීම අතින් ලංගම තවමත් ඉදිරියෙන් සිටින බවය. ලංගම විධිමත් කිරීම සඳහා මෑතදී අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ග අනුව පෙනී යන්නේ පුද්ගලික ප්‍රවාහන සේවය දුබල නොකරමින් ලංගම කාර්යක්ෂම අයුරින් පවත්වා ගෙන යා හැකි බවය.

ලංගම සේවකයන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටීම කෙරෙහි සෘජුවම බලපෑ පාරිතෝෂික ගෙවීම් විධිමත් කිරීමට හැකි වීම පැසසුම් කටයුතුය.

එමෙන්ම නාස්තිය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ශක්තිමත් කළ යුතුය. පසුගිය පාලන සමයෙහි ලංගම බස්රථවලට අවශ්‍ය අමතර කොටස් නිෂ්පාදනය මුවාවෙන් මහා පරිමාන ජාවාරමක් ක්‍රියාත්මක විය. ලංගමට අවශ්‍ය අමතර කොටස් අඩු වියදමින් නිෂ්පාදනය කිරීමෙ වැඩපිළිවෙළක් කලක් තිස්සේ ක්‍රියාත්මක විය. ජාවාරමක් බවට පත්කරගනු ලැබුවේ එම වැඩපිළිවෙළයි. ඒකල වැඩබිම මෙහිදී ගොදුරු කර ගැනිණ. එම ක්‍රියාදාමයට වැට බැඳ ඇත. පරීක්ෂණද පැවැත්වෙයි. ප්‍රවාහන විෂයයෙහි මහ පුටුවලටම දූෂණ චෝදනා එල්ලවීම කනගාටුදායක තත්ත්වයකි.

පුද්ගලික ප්‍රවාහන සේවය හඳුන්වා දීමේ අරමුණ වූයේ මගී ජනතාව දුෂ්කරතාවට පත් නොකරන තරගකාරී ප්‍රවාහන සේවයක් ඇති කිරීමය. මෙහි තරගකාරිත්වය නමින් අදහස් කළේ මාරාන්තික ගැටුමක් ඇති කිරීම නොව මගී ප්‍රවාහනයෙහි ඵලදායිතාව නැංවීමය. මගී ප්‍රවාහනය මිනිස් ශ්‍රමයට වටිනාකමක් දෙමින් ආර්ථික අභිවෘද්ධියටද තුඩු දෙයි.

මෙහිදී බලාපොරොත්තු වූ ඉලක්කවලට යෑම දුෂ්කර වූයේ ඇතැම් දේශපාලකයන් බස් මුදලාලිලා බවට පත් වීම හේතුවෙනි. මෙය අශෝභන තත්ත්වයකි. මෙකී දේශපාලකයන්ගේ බලපෑම නිසා ඇතැම් මාර්ගවල ලංගම බස් සේවාවලට විනේ කටිමින් බස් මුදලාලිලාගේ තනි ආධිපත්‍යයට ඉඩ ලැබිණ. දේශපාලන අනුහසේ මහිමයෙන් පුද්ගලික බස්රථ සේවකයන්ගෙන් ලංගම බස් සේවකයන් පහර කෑ අවස්ථාද තිබිණ.

මේ නිසා තවමත් එකම ලංගම බස් රථයක්වත් ධාවනය නොවන මාර්ග පවතී. එම මාර්ගවල පුද්ගලික බස් රථ ධාවනය නොවන අවස්ථාවල මගීහු අතරමං වෙති.

අවුරුදු සමයෙහි ඇතැම් මාර්ගවල මේ ගැටලුව ඇති විය. මගීන්ට වග නොකියන, බස් මුදලාලිලාට පමණක් වග කියන එබඳු බස් රථවල සේවකයන් මහජනයාගේ හතුරන් ලෙස සැලකීමෙහි වරදක් නැත.

මේ ගැටලු ඉක්මනින් සමනය කරගත යුතුය.

දේශපාලකයන්ට වෙනත් ව්‍යාපාරවල යෙදීම තහනම් කිරීම, වත්කම බැරකම් නීතිය ශක්තිමත් කිරීම හා ලංගම පසුවිපරම් හා පරීක්ෂණ අංශ ශක්තිමත් කිරීම මෙහිදී අනුගමනය කළ හැකි වක්‍ර‍ හා සෘජු පියවර ලෙස හැඳින්විය හැක. ආසියාවේ පමණක් නොව මුළු ලොවම පිළිගන්නා විශිෂ්ටතම ජනසතු ව්‍යාපාරයක් වූ ලංගම මියයන්නට ඉඩ නොදී එය රැකගෙන ශක්තිමත් කිරීම ජනතා සුබසෙත අපේක්ෂා කරන කොයි කාගේත් වගකීමය.

ලංගම ගොඩනැඟීම සඳහා එහි යාන්ත්‍රණය දේශපාලන පලපෑමවලින් නිදහස් විය යුතුය. වත්මන් ආණ්ඩුව යටතේ විවිධ රැස්වීම් සඳහා බස් රථ යෙදවීමේදී පක්ෂය විසින් මුදල් ගෙවා තිබිණ. එහෙත් හිටපු ජනපතිවරයා දේශපාලන රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදාගෙන ඇත්තේ කිසිදු ගෙවීමකින් තොරවය. ඒ පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙයි. රටට ආදරය කරන දේශපාලකයන් පත්විය යුත්තේ මේ නිසාය.

මාතෘකා