මාර්ග අනතුරු නැති අවුරුද්දක්

මාර්ග අනතුරු නැති අවුරුද්දක්

අලුත් අවුරුදු සුබ පැතුම් සතර දෙසින් ගලා එමින් ඇත. සෑම වසරකම අලුත් අවුරුදු දිනය ළං වන විට අවුරුදු සුබ පැතුම් සහ ඇඳුම් 'සේල්' ගැන කතා ඇසෙනා තරමටම අලුත් අවුරුදු දිනයෙන් පසුව මාධ්‍ය මගින් ඇසෙන තවත් කාරණයක් වන්නේ හදිසි අනතුරුය. දිනකට ජීවිත අටකට ආසන්න සංඛ්‍යාවක් බිලිගනිමින් සිදුවන මාර්ග අනතුරු මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත. සීසීටීවී කැමරා බොහෝ ස්ථානවල දැන් සවිකර ඇති නිසා එම අනතුරුවල භයංකර ස්වභාවය විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය හරහා දැක ගැනීමට අපට දැන් අවස්ථාව ලැබී ඇත.

මෙම වාර්තා තුළින් පැහැදිලි වන ආකාරයට මාරාන්තික අනතුරුවලට හේතු වී ඇත්තේ පෙෞද්ගලික බස් රථ රියැදුරන්ගේ සහ කන්ටේනර් ට්‍රක් රථ රියැදුරන්ගේ ආක්‍රමණශීලී සහ ආවේගශීලී රිය ධාවනයයි. ඊට අමතරව මාර්ග නීති ගැන නොතකා ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනයද බොහෝ මරණීය අනතුරුවලට හේතු වී තිබේ. මේ අතරින් විශේෂයෙන් සාද බහුල අලුත් අවුරුදු සමයේ බහුල වීමට වඩා වැඩි ඉඩක් ඇත්තේ ත්‍රිරෝද රථ,

යතුරුපැදි සහ සැහැල්ලු ද්විත්ව කාර්ය වාහන ආශ්‍රිත අනතුරුය.

මෙරට මහා මාර්ග ආරක්ෂිත ස්ථාන බවට පත් කළ යුතු බවට පොදු එකඟතාවක් සමාජයේ ඇත. එම සම්මුතිය ඔස්සේ යමින් මාර්ග අනතුරුවලට බහුල වශයෙන් හේතුවන වැරදි කිහිපයක් වෙනුවෙන් රු. 25,000 දක්වා දඩ පැනවීමට රජය පසුගියදා කටයුතු කළේය. මීට ප්‍රතිචාරයක් ලෙස පෙෞද්ගලික බස් රථ වර්ජනයක් දියත් කිරීමට බස් රථ හිමියෝ පසුගිය බදාදා කටයුතු කළහ. මෙම වර්ජනයට රජයේ පාර්ශ්වයේ ප්‍රතිචාරය වූයේ විනයානුකූලව රථ ධාවනය කරන රියැදුරන් දඩ මුදල් ඉහළ නැංවීමට බිය විය යුතු නැති බවය.

කෙසේ වෙතත් අපගේ විග්‍රහයට අනුව නම් මේ සඳහා පෙෞද්ගලික බස් රථ හිමියන්, රියැදුරන් මෙන්ම රජයද රථ වාහන පොලිසියද වගකිව යුතු බවය. නිශ්චිත ධාවන කාලසටහන් පවතිද්දී පවා පෙෞද්ගලික බස් රථ අතර ඇති අපරික්ෂාරී මාරාන්තික තරගය නැවැත්වීමට නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මහා මාර්ගවල සින්නක්කර අයිතිය තමන්ට හිමි වූ ආකාරයට ක්‍රියා කරන පෙෞද්ගලික බස් රථ ධාවනය විනයවත් කිරීමට බස් රථ සඳහා වෙන් වූ ධාවන තීරු වෙන් කළද ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමට රථ වාහන පොලිසිය අසමත් විය. නොඑසේනම් එහි සාර්ථක අසාර්ථක බව පිළිබඳව නිවැරදි පෙර තක්සේරුවකින් තොරව ඔවුන් මෙම තීරණ ගත්තා විය යුතුය.

ඉතා ඉහළ මහාමාර්ග විනයක් පවතින බොහෝ රටවල මාර්ග නීති සඳහා පනවා ඇති දඩ මුදල්ද ඉහළ අගයක් ගන්නා බව නොරහසකි. ඒ අනුව ගත් කල රජයේ මෙම තීරණය නිවැරදිය. එනමුත් එවැනි රටවල් එම මාර්ග නීති ක්‍රියාත්මක කළ හැකි ආකාරයට මහා මාර්ග පුළුල් කර තිබේ. සංඥා පුවරු ස්ථානගත කර තිබේ. අනුශාංගික පහසුකම් සපයා ඇත. නමුත් පොදුවේ මාර්ග නීති ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් මෙරට සියලු ප්‍රධාන මාර්ග ආශ්‍රිතව තවම ගොඩනැඟී නැත. විශේෂයෙන් 'වමෙන් ඉස්සර කිරීම තහනම්' වැනි මාර්ග නීති නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් අවම තරමේ අගනුවර මහා මාර්ග ආශ්‍රිතවද ගොඩනැඟී නැත. මාර්ග තදබදය අවම කිරීම සඳහා යතුරුපැදිකරුවන්ව ප්‍රධාන තීරුවට වමෙන් පිහිටි පටු ඉඩ ඔස්සේ ධාවනය කරවීමට රථවාහන පොලිසියම කටයුතු කරන අවස්ථා අපිත් අත්විඳ ඇත්තෙමු. අවස්ථානෝචිතව එහි වරදක් පෙනෙන්නටද නැත්තේ, සෑම දෙනාම වාහනයක් භාවිත කරන්නේ පා ගමනින් යෑමට වඩා වේගවත් ගමනක් ඔවුන්ට අවශ්‍ය නිසා බැවිනි. ඒ තරමටම ප්‍රමාදවන තරමේ මාර්ග තදබදයක් ඇති, අඩු පහසුකම් සහිත මහාමාර්ග තිබියදී පනවා ඇති සමහර රථ වාහන දඩ ගැන රජය නැවත සලකා බැලීම කළ යුතුය. අවම වශයෙන් පහසුකම් අඩු මාර්ග කෙරෙහි යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රථ වාහන පොලිසිය කටයුතු කළ යුතුය.

රථවාහන පොලිසිය ආදායම් ජනනය කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා වෙනුවට සැබෑ ලෙසම මෙරට මහා මාර්ගවල ආරක්ෂාව ගැන වගකියන ආයතනයක් ලෙස පවත්වා ගැනීමට රජයත් පොලිසියත් කටයුතු කළ යුතුය. මහාමාර්ග ආරක්ෂිත කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීමට රජය කටයුතු කළ යුතුය. අමානුෂික ප්‍රවාහන මාධ්‍යයක් ලෙස තමන් ලබා ඇති නම ඉවත් කර ගැනීමට පෙෞද්ගලික බස් රථ රියැදුරන් පෙළ ගැසිය යුතුය.

මෙවර අලුත් අවුරුද්දෙන් පසුව මාර්ග අනතුරුවල වැඩි වීමක් ගැන අපට වාර්තා කිරීමට නොහැකි වේවා යන්න අපගේ අලුත් අවුරුදු පැතුමයි.

මාතෘකා