තොරතුරු පනත සහ 19 වැනි ව්‍යවස්ථාව බලගතු කළ නඩු තීන්දුවක්

තොරතුරු පනත සහ 19 වැනි ව්‍යවස්ථාව බලගතු කළ නඩු තීන්දුවක්

නීතිය යනු පොතකට සීමා වූ වගන්ති කීපයක් නොවේ. එය භාවිතයකි. යුක්තිය සහ සාධාරණත්වය යනු එය භාවිතයෙහි ප්‍රතිඵලයයි. නීතිය ක්‍රියාත්මක වීමේදී එය භාවිතය පිළිබඳ විශ්වාසය කඩවන අවස්ථාද පවතී.

එවැනි යුගද පවතී. ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයෙහි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරය හෙබවූ අවධියද එවැන්නකි. යුක්තියේ දෙවොල වින්දිතයන්ගේ හිස මත කඩා වැටිණ. දූෂිත මැතිවරණ සාධාරණීකරණය කෙරිණ. අධිකරණයද දූෂණයේ මර්මස්ථානයක් බවට පත්විය. පාතාල කෙරුමන්ටද අගවිනිසුරුගේ අනුහසින් අධිකරණයේ කොන්ත්‍රාත් වැඩ පැවරිණ.

2015 දේශපාලන පෙරළියට මුල් වූ කරුණු අතර ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීමද විය. දූෂිත පාලනයක් පෙරළා දමන මොහොතේ රටේ අගවිනිසුරු ධුරය ක්‍රියාත්මක වූයේ විධායකයේ රබර් මුද්‍රාවක් ලෙසය. දූෂිත අගවිනිසුරුවරයා පරාජිත ජනපති අපේක්ෂකයාගේ නිවසෙහි රැඳී බලය අතහැර නොයෑමේ යටිකූට්ටු වැඩක් සැලසුම් කරමින් සිටි බව අනාවරණය විය. ඒ වනවිට නීති විරෝධී අයුරින් අගවිනිසුරුවරිය ගෙදර යවා තිබිණ.

සාධාරණ සමාජයක් අපේක්ෂා කළ ජනතාව 2015 දේශපාලන පෙරළියෙන් පසු නිදහස් අධිකරණයක ක්‍රියාකාරිත්වය අපේක්ෂා කළහ. එය දිගු කලක පටන් ඇතිව තිබූ සමාජාපේක්ෂාවකි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණය ඇතුළු වගකිවයුතු ආයතන ස්වාධීන කිරීමේ පියවර ගැනිණ. තොරතුරු පනත සම්මත විය. හොරුන්ට,මිනීමරුවන්ට දඬුවම් දීමේ පොරොන්දු ඉෂ්ට වේ යැයි සාධාරණත්වය අගයන ජනතාව බලාපොරොත්තු වූහ.

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමවේදයට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස් තුවක්කුවේ බලයෙන් මැඩීමට යෑමේදී පිරිසක් තුවාල ලබද්දී කටුනායක චානක රොෂාන් මිය ගියේය. මේ සම්බන්ධයෙන් කළ පැමිණිලිවලින් පලක් නොවීය. එහෙත් විරෝධතා ඉදිරියට යෑමේ ප්‍රතිඵලය ලෙස විශ්‍රාමික විනිසුරු මහානාම තිලකරත්න යටතේ කොමිසමක් පත් කෙරිණ. ඒක පුද්ගල කොමිසමක් වුව වාර්තාව අපක්ෂපාතී විය. එය විධායකයේ බලපෑම අනුව හමස් පෙට්ටියට යැවිණ.

2015 ජයග්‍රහණයෙන් පසුව මහානාම තිලකරත්න වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි විවිධ ඉල්ලීම් ඉදිරිපත් විය. විධායකය දක්වා මේ ඉල්ලීම් දිගු විය. එහෙත් කිසිවක් නොවීය. තොරතුරු පනත පිහිටට හිටියේ මෙහිදීය. වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්ව තොරතුරු පනත අනුව තිලකරත්න වාර්තාවේ පිටපතක් ඉල්ලූහ. තොරතුරු කොමිසමේ මැදිහත් වීම බලාත්මක විය.වාර්තාව ලැබිණ. නඩුව සක්‍රිය විය.

වසර 8කට පසුව නඩු තීන්දුව ලැබිණ. ඒ අනුව ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පරිදිම අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇත. වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවීමක් කළ යුතුය.

මේ නඩුවෙහි වින්දිතයන් 13 දෙනකු වෙනුවෙන් නඩු 13ක් පවරන ලද්දේ කිසිදු අයකිරීමකින් තොරවය. නීතිඥ ජේ.සී. වැලිඅමුණ මෙහි මූලිකත්වය දැරීය. මෙය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තහවුරු කළ නඩු තීන්දුවකි. ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය පරාජය වූයේද අධිකරණය ස්වාධීන තීන්දුවක් ලබා දීම හේතුවෙනි.

මෙහිදී රටවැසියන්ගේ පාර්ශ්වයෙන් සතුටු විය හැකි කරුණු තිබේ. 19 සම්මත කිරීමට දායක වූ පාර්ශ්වයම එයට පිටුපාන විට 19 ක්‍රියාත්මක වෙයි. තොරතුරු පනත ක්‍රියාත්මක කළ රජයක් යටතේද තොරතුරු අයිතිය කැඩීමට එරෙහිව පනත ක්‍රියාත්මක වෙයි. කුණු වූ ධනපති පන්තියක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප වෙයි. එහෙත් එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තල්ලු කරන බලවේග අක්‍රිය නොවෙයි. මේ සියල්ල ලංකාවේ ධනපති ක්‍රමයේ අර්බුදයක් යැයි දොඩවමින් තමන්ගේ වැඩක් කරගත යුතු යැයි සිතීම නරුම ආකල්පයකි.

මෙහිදී උද්ඝෝෂකයන් පොලිසියට පහර දීමේදී දේශපාලන අවස්ථාවාදීන් කම්කරුවන් බිලි දීමේ උත්සාහයක් තිබුණාද යන්න වෙනම නිරීක්ෂණය කළ යුතුය. එමෙන්ම ප්‍රධානීන්ගේ අණ ක්‍රියාත්මක කිරීමට ගිය ඇතැම් පොලිස් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන්ද කීමට කරුණු තිබිණ. කුමක් වුවත් නීතියේ ආරක්ෂාව සියලු රටවැසියන්ට ලැබිය යුතු බව මේ තීන්දුවෙන්ද පැහැදිලි වේ.

මේ සියල්ල අනුව පෙනී යනුයේ 19 වැනි ව්‍යවස්ථාව සහ තොරතුරු පනත සියලු රටවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය, නිදහස හා සමානාත්මතාව කෙරෙහි බලගතු අයුරින් බලපා ඇති බවය.

මාතෘකා