මිනී මරන ආහාර සංස්කෘතිය

මිනී මරන ආහාර සංස්කෘතිය

ශ්‍රී ලංකාවට ආවේණික ආහාර සංස්කෘතිය විචිත්‍රවත්ය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය මනා සංයෝජනයක් එහි තිබේ. එහෙත් ශරීරය වෙහෙසා වැඩකරන සමාජයකට උචිත ආහාර රටාවක් එම සමාජය නවීකරණය වන විට එම අයුරින්ම පවත්වාගෙන යෑම ප්‍රායෝගික නැත. එමෙන්ම සෞඛ්‍යයට හානිකරය. වත්මන් ආහාර පාරිභෝජන රටාවට අදාළව එය එක් වැදගත් සංවාද නිමිත්තකි. අප අද සාකච්ඡා කරන්නේ ඒ ගැන නොවේ. ලෝක මට්ටමින් අවධානයට ලක්වූ කරුණක් පිළිබඳවය.

දිනමිණ පුවත්පත මෑතකදී මෙය අනාවරණය කළේය. එම අනාවරණය අනුව ලොව වස විස අධික ආහාර පාරිභෝජනය කරන රටවලින් ලංකාව අංක එකට පැමිණ ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ අනතුරු අඟවා තිබේ. මේ වනාහි භයානක තත්ත්වයකි. මෙය ජාතික ප්‍රශ්නයකි. ආගම් උමතුවෙන් රටම හිරිවට්ටන යුගයක මෙවැනි කරුණු වගකිවයුත්තන්ගේ අවධානයට ලක් නොවේ. මෙය ප්‍රතිපත්ති සම්පාදකයන් නින්දෙන් ඇහැරවිය යුතු ප්‍රශ්නයකි.

ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතිය වස විසවලින් දූෂණය වෙමින් පවතින බවට ආහාර විශේෂඥයන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් අනතුරු අඟවන්නට පටන්ගෙන ඇත්තේ කලක සිටය.

එය ආකාර කිහිපයකින් සිදුවෙයි.

නූතන කෘෂිකර්මයේදී කෘෂිරසායන අධිභාවිතයක් පවතී. පොළොවට ඔරොත්තු නොදෙන මට්ටමට ඒවා යොදා ඇත. කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකට අනුව වස විස නොයොදන පැළෑටිද වස විස ආක්‍රමණය කරන මට්ටමට පොළොවෙහි වස විස සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.

දෙවැනි කරුණ වන්නේ වෙළෙඳපොළෙහි ඇති එළවළු සහ පළා වර්ග අතර කෘෂි රසායන යෙදීමෙන් නියමිත පැය ගණන නොඉක්මවූ තොගද තිබීමය.

තුන්වැන්න පලතුරු වර්ග ඉදවීම සහ නරක් නොවී කල්තබා ගැනීම සඳහා රසායනින ද්‍රව්‍ය යෙදීමය. මාළු සහ මස් වර්ගද කරවලද නරක් නොවී තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන අයුරු අනාවරණය වූයේ කලකට පෙරය. ඇතැම් ධාන්‍ය වර්ග සඳහාද මේ ක්‍රමය අනුගමනය කෙරේ.

ධාන්‍ය, එළවළු, පලතුරු, මස් සහ මාළු ඇතුළු බොහෝ ආහාර වර්ග නිසි ප්‍රමිතියෙන් තොර වීම ජනතාවගේ සෞඛ්‍යයට මාරාන්තික තර්ජනයකි. මේ නිසා ඇති වන විවිධ ලෙඩරෝග සමනය කරගැනීම සඳහා ඖෂධ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවීමද ශෝකජනක තත්ත්වයකි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය ජනතාව කෘෂි රසායන සහ ඖෂධ සමාගම්වලට තම ජීවිතය උකස් තැබූ රට වැසියන් පිරිසක් බවට පත් වෙමින් සිටින බවය.

හතුරකුටවත් තම ළිඳෙන් වතුර ගැනීම තහනම් නොකරන මට්ටමේ ශික්ෂණයක් ඇති රටක් හැටියට ලංකාව ප්‍රකට වී තිබිණි. එහෙත් වත්මනෙහි රට තුළ සිදුවන දේවල් අනුව පෙනී යන්නේ පාරිභෝගිකයන්ට වස විස යෙදූ ආහාර ගිල්ලවන දුෂ්ට වෙළෙන්දන්ගෙන් පිරුණු සමාජයක් නිර්මාණය වී ඇති බවය. මේ ජාවාරම්කරුවන්ගේ ස්වභාවය වන්නේ ඔවුන් බුද්ධාගමේ හෝ වෙත් ආගමක ගැලවුම්කරුවන් ලෙසද පෙනී සිටීමය. මෙය කුහකකමකි. වස විස දී මිනිසුන් මරන අතර ආගම අඩයාළමක් කරගනිමින් සමාජ ගරුත්වයද ලබාගනිති.

ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පාර්ශ්වයෙන්ද පසුගාමී තත්ත්වයක් පෙනේ. වත්මනෙහි මාංස පරිභෝනයෙන් වැඩිම පංගුව දින 45ක ආයුෂයක් හිමි බ්‍රොයිලර් කුකුළන්ගෙන් සපුරාගනී. මේ සත්ත්වයන්ට ලබාදෙන රසායනික ද්‍රව්‍ය අනුව කුකුළු මස් අහරට ගන්නා අයගේ සිරුරුවලට ඇතුළුවන හානිකර ද්‍රව්‍ය ප්‍රමාණය විශාලය. ඒ අතර ගොවීන්ගේ වගාවලින් 50%කට වඩා ප්‍රමාණයක් ඌරන්, මොනරුන්, දඬු ලේනුන් යනාදී සතුන් විසින් විනාශ කරනු ලබයි. නීතිය සහ ආගම නිසා ඔවුන් දඩයම් නොකර ගොවිතැන අතහැරීමටද ඇතැම් ගොවීහු පෙලඹී සිටිති. එමෙන්ම දරුවන්ට හා වැඩිහිටියන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයද නොලැබේ.

වස විස යෙදූ ආහාර මිනිස් සෞඛ්‍යයට තර්ජනයකි. එය වැළැක්වීම සඳහා නීති ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම එළවළු, ධාන්‍ය සහ පලතුරු හැකි පමණ තම ගෙවත්තේ වගාකරගැනීමට උනන්දු කළ යුතුය. ඊට අවශ්‍ය ආකල්ප වෙනස ඇති කළ හැක්කේ අධ්‍යාපනයෙනි.

මාතෘකා