සාමාන්‍ය පෙළ මාධ්‍ය සංදර්ශන

සාමාන්‍ය පෙළ මාධ්‍ය සංදර්ශන

අපොස සාමාන්‍ය පෙළ අසමත් කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටී. මේ පණිවිඩය සමාජගත කර ඇත්තේ අවශ්‍යම මොහොතකය. එය හරියටම එල්ලය බලා යැවූ ඊ පහරක් වැන්න.

මේ දිනවල සියලුම ජනමාධ්‍ය සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ගේ තොරතුරු "මාර්කට්" කරමින් සිටී. මෙය සිදු කෙරෙන්නේ තරගකාරී මට්ටමිනි. මෙය කෙතරම් නරක ප්‍රවණතාවක් වී ඇතිදැයි කිවහොත් ඇතැම් ගුරුවරු සහ දෙමව්පියෝ විභාගයෙන් අසමත් වූ හෝ උසස් ප්‍රතිඵල නොලැබූ දරුවන් මැඩීම සඳහා මාධ්‍ය වාර්තාද කෙවිටක් කරගනිති. මෙය අශිෂ්ට සංදර්ශනයකි.

විභාග ප්‍රතිඵල නිකුත් වීම යනු සාමාන්‍ය සිදුවීමකි. පුද්ගලයකුගේ ජීවිතයෙහි සාර්ථක - අසාර්ථක බව මැනීමේ ප්‍රමුඛ දර්ශකය එය නොවේ. එහෙත් අපේ රටේ අධ්‍යාපනයෙහි පවතින මාරාන්තික තරගය නිසා විභාග ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවල ජනමාධ්‍ය මහා ඝෝෂාවක් ඇති කරයි. ටියුෂන්කාරයෝද තමන්ගේ ඊළඟ ගොඩ ලොකු කර ගැනීම සඳහා මෙයට උඩගෙඩි දෙති. තම ජීවිතයෙහි තමන්ට දිනාගත නොහැකි වූ වරප්‍රසාද දිනාගැනීමට අසමත් වීමේ හීනමානයෙන් පෙළෙන ඇතැම් මව්පියෝද විභාග ප්‍රතිඵලවලින් පිම්බීමට බලති. තමන්ගේ එකා උඩ දා අල්ලපු වැටේ එකා පෑගීමට වෙර දමති. රාජ්‍ය බැංකු ඇතුළු ඇතැම් ආයතනද විභාග ප්‍රතිඵල මතින් "ප්‍රමෝට්" වීමට උත්සාහ කරති. මෙය අශෝභන තත්වයකි. මුළුමහත් සමාජයෙහි ගරාවැටීම එයින් පිළිබිඹු වේ.

ශිෂ්‍යත්ව විභාගය යනු මේ අශෝභන සංදර්ශනය වැඩියෙන්ම රඟදෙන අවස්ථාවයි. ඊළඟට උසස් පෙළය. සාමාන්‍ය පෙළ ඊළඟට වැදගත් වන අවස්ථාවයි. මෙහි නරක ප්‍රතිඵලය නම් දුර්වලයන් සහ දක්ෂයන් ලෙස දරුවන් වර්ගීකරණය කිරීමේ ළිං මැඩි චින්තනය වර්ධනය වීමයි.

සැබෑ දක්ෂයන් විභාගවලින් මැනිය නොහැකි බව ඉතිහාසය සාක්ෂි දරයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙහි අනිටු ඵලයක් ලෙස මේ තත්වය විග්‍රහ කළ හැකිය. ජනසමාජය ඉදිරියට ගෙන යන කාර්යයේදී නිමාණශීලී පුද්ගලයෝ විභාග දක්ෂයන්ට වඩා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරති. එහෙත් අපේ රටේ පිරිහුණු අධ්‍යාපනය විසින් කානුපල්ලට තල්ලු කර ඇත්තේද එබඳු දරුවන්ය.

වත්මන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපනඥයන් විසින් හඳුන්වා දී ඇති 13 වසර තෙක් සහතික කළ අධ්‍යාපනය යනු මේ ගැටලුවට ලබාදුන් සාධාරණ විසඳුමකි. එහිදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට වඩා කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරේ. ජනමාධ්‍ය විසින් දිරිමත් කරනු ලැබ යුත්තේ එබඳු සාධනීය මැදිහත් වීම්ය. විභාග ජයග්‍රාහකයන්ගේ සතුටු කඳුළුද පරාජිතයන්ගේ සොටු කඳුළුද දඩයම් කරගැනීම ජනමාධ්‍යයේ කාර්යය නොවිය යුතුය.

දරුවකුගේ චරිතය සංවර්ධනය කළ යුත්තේ ජය පරාජය දෙකම සම සිතින් බාරගන්නා තැනකටය. ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තම දරුවාගේ ගුරුවරයාට කී පරිදි ජයග්‍රහණය මෙන්ම පරාජයද නිහඬව සතුටින් විඳ ගැනීමේ සියුම් මනසක් දරුවකුට අවශ්‍ය වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් නොලබන සංඛ්‍යාව 82,426කි. අධ්‍යාපන බලධාරීන් වැඩි බර තැබිය යුත්තේ ඔවුන් කුසලතා පූර්ණ මිනිසුන් ලෙස සමාජගත කිරීම කෙරෙහිය. එසේ නොකළහොත් එහි ප්‍රතිඵලය ත්‍රීරෝද රථයට ජීවිතය දිය කරමින් සමාජ ප්‍රශ්න ගණනාවකට මුල් වන තරුණ පිරිසක් බිහි වීමය.

13 වසර තෙක් අනිවාර්ය අධ්‍යාපනයෙහි මීට සෑහෙන පිළිතුරක් ඇතැයි විශ්වාස කළ හැකිය. එමෙන්ම වෘත්තිය පුහුණු අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු ආයතන යනාදී රාජ්‍ය ආයතනවල පාඨමාලා සම්බන්ධයෙන් යොවුන් දරුවන්ට නිවැරදි අවබෝධයක් ලබා දීමද කාලෝචිතය.

මාතෘකා