මහාමාරියේ අලුත් මුහුණ

මහාමාරියේ අලුත් මුහුණ

මධ්‍යතන යුගයේ මුලුමහත් යුරෝපයම මහාමාරිය රෝගය විසින් ගිල ගනු ලැබීය. ඇල්ජීරියාවේ ඔරාන් නගරය මහාමාරිය බිලිගත් අයුරු ඇල්බෙයා කැමූ විසින් 'පිටස්තරයා' තුළින් ඉදිරිපත් කරයි.

මැරී වැටෙන මී කුණක් දකින ඔරාන් නගරයේ වෛද්‍යවරයා වූ 'රියේ' තම නගරයට මහාමාරිය මාරයා කඩා වැදී ඇතිබව තහවුරු කරගනී. සිය වෘත්තිය මිනිසුන්ට මිය යාමට දීම නොව මිනිසුන්ට ජීවත් වීමට වෙන් වූවක් බව කියා දෙන්නට රියේ සමත් වෙයි. තම ප්‍රියංබිකාව පවා මහාමාරියට ගොදුරුව මරණ මංචකයේ සිටියදී පවා රියේ වෛද්‍යවරයා ඈ වෙත නොගොස් ඔරාන් නගරය ආරක්ෂිත කලාපයක් කරන්නට වෙහෙසෙයි. වෘත්තීමය වගකීම දෙවුර දරාගෙන නගරය බේරාගැනීමේ අප්‍රමාණ වෙහෙස අතරේ රියේට එරෙහිව අනේක බාධක එයි. නගරයෙන් එපිට සිටින තම හිතෛෂිවන්තයින් මහාමාරිය මාරයා ගිල ගනිද්දී ඔවුන් හමුවීමට යාමට නගරයේ දහසක් දෙනා වෙහෙසෙයි. එහෙත් මාරාන්තික රෝගය නගරයට එනු වැළැක්වීමට වෛද්‍ය රියේ ගන්නා බරපතල තීන්දුව හේතුවෙන් නගරවාසීන්ට නගරයෙන් පිට වීමට ඉඩ නොලැබෙයි. පීඩනය දරාගත නොහැකි නාගරිකයෝ වෛද්‍යවරයාට එරෙහිව අවි ඔසවති. පරිභව කරති. පීඩා කරති.

ජීවකයා නොසෙලී සිටියි. ඔහු නිල නොලත් පාලකයෙකු වෙයි. පිටතින් එන පත්තරකාරයෙකුට නැවත නගරයෙන් පිටවීමේ අවසරපත පවා නොදෙන්නට තරම් වෛද්‍යවරයා දැඩි තිරණයක සිටියි. ඒ වැරදි පුවත් සමාජගත වෙතැයි සැකය නිසාවෙනි. මාධ්‍යවේදියාත් පසුව වෛද්‍යවරයාට සහය වෙයි. ව්‍යසනයක් පැමිණි විට එහි වාසිය ගන්නට වෙහෙසෙන ආගමික හා දේශපාලන කණ්ඩායම් වලට කැමූ පිටස්තරයා හරහා දැඩි උපහාසයක් ගෙන එයි.

'පව් සමාකර නොගත්' නිසා මහාමාරියට මිනිසුන් ගොදුරු වූ බව කියන පූජකයෝද එහි වෙති. එහි එන 'පනිලූ පියතුමා' වැන්නෝ අදත් සමාජයේ සැරිසරති. එහෙත් දේවස්ථානයේ දෙවියන්ට කිට්ටුවම සිටින බව කියන පියතුමාටත් අවසනයේදී මහාමාරිය වැළදෙයි.

මහාමාරියෙන් මියගිය ලක්ෂ ගණනක් වෙනුවෙන් පාලකයින් කරන්නට යන දෙයක් සම්බන්ධව කෘතියේ තැනක අපූරු දෙබසක් වෙයි.

ඒ රෝගියෙක් සහ වෛද්‍යවරයා අතරය.

‘දොස්තර මහත්තයෝ ඇත්තද මහාමාරිය හැදිලා මැරුණ මිනිස්සු වෙනුවෙන් දේශපාලකයෝ සිහිවටනයක් හදන්න යනවා කියන්නේ....’

‘ඔව් පත්තරවල එහෙම තියෙනවා. කුලුනක්ද කොහෙද හදන්න යනවලු’

‘ඔව් මම දැනගෙන හිටියා. එදාට උන් හරියට කතා එහෙම පවත්වයි.’

මේ කතාව අදටත් මනාව ගැලපේ. තෙවසරක ඈවෑමෙන් ආණ්ඩුව අලුත් කටයුතු රැසක් ආරම්භකර තිබේ. ජන ජීවිත නංවනු පිණිස හඳුන්වාදුන් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා, ගම්පෙරළිය, ගම් උදාව, ග්‍රාමශක්ති වැනි ව්‍යාපෘති කෘතිම ප්‍රතිඵල වෙනුවට යථාර්ථවත් ප්‍රතිඵල ජනිත කරන ඒවාය.

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය යෝජනා ක්‍රමය සම්මත බැංකු පොලියට වඩා අඩු පොලියක් යටතේ ණය ලබා දෙන්නකි. මෙහිදී මුදල ලබා ගන්නන් විසින් ගෙවිය යුතු පොලියේ ඉතිරි කොටස රජය මඟින් අදාළ බැංකු වෙත ගෙවනු ලැබේ. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 5,250ක මුදලක් වෙන් කර ඇත. මෙම මුදල උපයෝගී කරගනිමින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදු කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. උත්පාදනය කිරීමට අපේක්ෂිත නව රැකියා අවස්ථා සංඛ්‍යාව 50,000ක් පමණ වේ.

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල තරුණ ව්‍යවසායකයින්ගේ උනන්දුව දිනෙන් දින වර්ධනය වන බැව් පෙනී යන කරුණකි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගේ කැපවීම අගය කළ යුතු අතර මෙහි සාධනීය ප්‍රගතිය ඔවුන්ගේ නොමද කැපවීම මනාව පිළිඹිබු කරයි.

කෙසේ වෙතත් මෙවැනි වැඩසටහන් ප්‍රායෝගිකව සාර්ථක කරගන්නට නිලධාරීන්ගේ සහයෝගයද අත්‍යවශ්‍යය.

එහෙත් යම් යම් තැන්වල පවත්නා 'කකුලෙන් ඇදීම්' සහ 'බාල්දි දැමීම් තවමත් පහව ගොස් නැත. එන්ටර්ප්‍රයිස් ණය යෝජනා ක්‍රමයට ඇතුලත් වීමට වෑයම් කරන තරුණ ප්‍රජාව දිරි ගැන්වීම වෙනුවට කඩා වැටුණු තත්ත්වයට පත්කරන නිලධාරීන් වෙත්නම් ඔවුන් කරන්නේ මුලුමහත් ජාතියටම නිගාවකි. ඉකුත් වකවානුවේ නීති රෙගුලාසි තුට්ටුවට දැමූ සමහරු පවා 'යහපාලනයේ' නිදහස අයුතු ලෙස ගනිමින් සිටින බවක් පෙනේ. ඒ නිසාම ඇතැම් බැංකු ශාඛාවලින් ලැබෙන්නේ ප්‍රාථමික මට්ටමේ ප්‍රතිචාරය. ආණ්ඩුවට භාර වූයේ ආර්ථික වශයෙන් මහාමාරිය වැළඳුනු රටකි. එය ඉන් මුදවා ගන්නට ඔරාන් නගරයේ වෛද්‍යවරයා වූ 'රියේ' මෙන් සූදානම් පිරිසක් ආණ්ඩුවේ සිටිති. ඔවුන්ට ශක්තියක් වීම සියලු දෙනාගේ ජාතික වගකීමකි.

මාතෘකා