ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ විරුද්ධවාදීන්ගේ දේශපාලන සෞඛ්‍යය

ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ විරුද්ධවාදීන්ගේ දේශපාලන සෞඛ්‍යය

කලකට පසුව පාලිමේන්තුවේදී අපුර්ව සිදුවීමක් දක්නට ලැබිණ. එනම් ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන්ගේ ප්‍රශංසාවට ලක් වීමය. වාසුදේව නානායක්කාර මහතා එහිදී කැපී පෙනිණ. ජවිපෙ මහජන නියෝජිතයන්ගේ ප්‍රශංසාවද ලැබිණ.

මෙය සුවිශේෂ සිදුවීමකි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඒකාබද්ධ විපක්ෂයද දිගින් දිගටම රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පතුරු ගැසීය. සෞඛ්‍ය ඇමතිවරයාට නින්දා අපහාස කිරීම ඔවුන්ගේ ප්‍රතිපතියක් විය. නව ඖෂධ ප්‍රතිපත්තිය ඇතැමුන්ගේ ජාවාරම්වලට තර්ජනයක් වීම එක් හෝතුවකි. ඊනියා ඒකාබද්ධය තමන්ට බැරිවූ දේ අනුන් කරන විට ඊට ඉරිසියා බැන්දේය. විරෝධයට හේතුව එයයි.

සැප්.1 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිල අධික ඖෂධ වර්ග 10 ක මිල අඩුවෙයි. වෛද්‍ය උපකරණ 25ක මිල අඩුවෙයි. මිල අධික ඖෂධ වර්ගවල මිල අඩු වීම හා ඖෂධ මිල නියාමනය ඉතා වැදගත් තීන්දුවකි. මිල අධික පිළිකා රෝග ඖෂධ මේ ගොනුවට ඇතුළත් වීම වැදගත් සිදුවීමකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි මෙබඳු වැදගත් තීන්දු ගත් පළමු අවස්ථාව මෙය නොවේ. සෞඛ්‍ය ඇමති ධුරය හෙබවූ කාලයේ සිට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ මැදිහත්වීම් පල දරමින් පවතී. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ආකල්පවලට ගැලපෙන සෞඛ්‍ය ඇමතිවරයකු ලැබී තිබීම රට වැසියන්ගේ වාසනාවකි.

2016 වසරේදී අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කෙරිණ.මේ අනුව ඖෂධ වර්ග 400ක පමණ මිල අඩු විය.ආණ්ඩුව ගෙදර යැවීමට හටන්කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රැක්කේය.

මේ මොහොතෙහි ඒකාබද්ධ විපක්ෂය නින්දෙන් ඇහැරී සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කුකුළු නින්දකය. එනම් හොර නින්දකය.

රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය මහජන සුබසිද්ධිය වෙනුවෙන් කනපිට ගැස්සවීම පෙරළිකාරී වැඩකි. ඊට හේතුව ඖෂ‍ධ සමාගම්වල ආධිපත්‍යයයි.

රටට ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මහාචාර්ය සේනක බිබිලේ අකල් මරණයකට ගොදුරු විය. එහෙත් ඔහු නිර්මාණය කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අභියෝග මධ්‍යයේ වුවද තවමත් ක්‍රියාත්මක වෙයි.

රජයේ ඔසුසල ක්‍රියාත්මක වෙයි.ඖෂධ සමාගම්වල අධිකාරී බලය ඉදිරියේ එය පවත්වා ගෙන යෑම දුෂ්කර කටයුත්තකි.

ඖෂධවර්ග ගණනාවක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන කම්හල් ඉදිකිරීම ඇරඹී තිබේ.

මේවායෙහි ප්‍රතිපල අදට නොව හෙටටය.

මෙය දැවැන්ත අභියෝගයකි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග එල්ල වේ. ඒවාට ශක්තිමත්ව මුහුණ දීම වත්මන් ආණ්ඩුවෙහි විශේෂත්වයකි.

දේශප්‍රේමය කතා කරන දේශපාලන කල්ලිවල නෙතිබූ ලක්ෂණයකි.

මාතෘකා