අධිකරණය

අධිකරණය

ජොන්ස්ටන් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් අධිකරණය විසින් ලබා දුනි. ඒ තීන්දුවෙන් පසු පිටතට පැමිණි ජොන්ස්ටන් මාධ්‍යට කීවේ 'දැන් අධිකරණය ස්වාධීනයි'කියාය.

පුදුමයට කරුණු දෙකකි. එකක් ඔහු එහෙම නොකීවානම් පුදුම ය.දෙවැන්න ඔහු එහෙම කී එකම පුදුමය. කුමක්ද ඒ අපභ්‍රංශය..!

තමන්ට අවාසිදායකයැයි හැඟෙන තීන්දුවක් දුන් සැනින් රාජපක්ෂවාදීහූ සසල වෙති. අධිකරණයට ‘ගල්‘ගසති.චෝදනා නගති. උපහාස කරති. තමන්ට වාසිදායක තීන්දුවක් දුන් කල අධිකරණයට 'මල්' ඉසිති.! ගරු කරති.

ජොන්ස්ටන්ගේ කතාවද පෙන්නුම් කරන්නේ එකී තත්ත්වයයි.

සත්‍ය කාරණයනම් අද අධිකරණය ස්වාධීන යන්න ය. එය පිළිගත හැකි,පිළිගත යුතු ඇත්ත ය.

අප ජීවත් වන්නේ මෙරට අගවිනිසුරුවරියට එරෙහිව අට පාස් උදවිය නඩු අසා තීන්දු දී එළවා දැමූ ඉතිහාසයක් සහිත රටක ය. එමතු නොව එලෙස එළවා දමා 'කැවුම් කිරිබත්'ගිල දැමූ පාපතරයන් තවමත් වසන රටකය.

දහසය අවුරුදු සේවා කාලය තුළ නීතියේ ආධිපත්‍ය සුරැකීමට තමා දැඩි කැපවීමක් සිදු කළ බව ප්‍රකාශ කල අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක අදාළ කාල සීමාව තුල නඩු තීන්දු 320ක් පමණ ප්‍රකාශ කර තිබු බව ඈ කීවාය. පදනම් විරහිතව ඉදිරිපත් වූ දෝෂාභියෝගයක් නිසා සිය සේවා කාලයෙන් දින 746ක් උදුරා ගැනුණු බවත් තමාට මෙන්ම පවුලේ උදවියට හිරිහැරවලට මුහුණ පෑමට සිදු වූ බවත් ඈ කීවාය.

රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ. අධිකරණයක් යනු, විනිසුරුවරුන් අසුන් ගන්නා ගොඩනැඟිල්ලක් නොවේ. නීතියට, ස්වායත්ත ආධිපත්‍යයක් තිබිය යුතුය.

එහෙත් ඊට හාත්පසින්ම වෙනස් අන්ත දූෂිත තැනකට මෙරට අධිකරණය දක්කාගෙන ගොස් ගාල් කිරීමේ ඉතිහාසය 'මහින්ද ආණ්ඩුව'සතුය.

ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වූ දෝෂාභියෝග ක්‍රියාවලිය අපේ ව්‍යවස්ථාවට එකඟ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටටත්, රටේ බලධාරීන්ටත් දැනුම් දී තිබිණි. එසේ තිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරාණි බණ්ඩාරනායකව එම තනතුරෙන් පහ කළේය.

රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 'සෙල්ලම් ගෙයක් කඩා දමනවා'වැනි සරළ සංසිද්ධියක් සේ එවක මහින්ද ආණ්ඩුව සැලකීය.එය එසේම කළේය.

රටේ ව්‍යවස්ථාව දැනුවත්ව උල්ලංඝනය කිරීම රාජ ද්‍රෝහීත්වයකි. එහෙත් මහින්ද යුගය ව්‍යවස්ථාව කුණු කූඩෙට දැමූ ඉතිහාසයක් සහිත යුගයකි. ගවයෙකුට වුවද ගැටගසා දැමූ විට 'තණ'උලා කන්නට සීමාවක් තිබේ.එහෙත් මහින්ද ආණ්ඩුවට එහෙම සීමා තිබුණේ නැත.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයකට එරට පාලනයේ ප්‍රධානතම ස්ථානයක් හිමිවේ. ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මූලධර්ම වනුයේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය.

ජනතාව ගැන හෝ නීතිය ගැන තියා, අඩු වශයෙන් පූජනීය යැයි සැලකෙන අතීත සම්ප්‍රදායයන් ගැනවත් තැකීමක් නොකළ ඉතිහාසයක් ඉකුත් ආණ්ඩුව සතු වෙයි.ඊට කදිම,සමීපතම උදාහරණය එවක,අංක 1807/39 යටතේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට නිලවරණයකින් තොරව තවදුරටත් කතරගම දේවාලයේ බස්නායක තනතුරේ රැඳී සිටීමට හැකි වන ආකාරයෙන්, පනත් සැකසීමය.

නීතිය යටතේ ශෂීන්ද්‍ර රාජපක්ෂට එක විට මහ ඇමති ධුරය සහ බස්නායක නිලමේ ධුරය දැරිය නොහැක්කේය. එහෙත් එවක ආණ්ඩුව, ඒ නීතිමය බාධකයත් තවත් ගැසට් නිවේදනයකින් (1614/30= 2009 අගෝස්තු 14) අවලංගු කෙළේය.

නීතිය අතට ගන්නෝ, සාහසිකයෝය. නරුමයෝය. උන් දන්නා සදාචාරයක් හෝ මානව ගුණයක් නැත. ගෙවී ගිය ආණ්ඩු යුගය එවැන්නන් රජකම් කළ යුගයක් ය. 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

ඒ අනුව ගත් විට අධිකරණයේ පැහැරූ යුගය වෙනස් කිරීමම අරුමයකි.

ජොනීගේ තීන්දුවට අනුව අධිකරණය ස්වාධීන බව පිළිගන්නා අයම දුමින්දගේ තීන්දුවේදීත් එය පිළිගන්නේනම් මොනතරම් අපූරුද?

මාතෘකා