ආපදාවන්ට මුහුණ දීම

ආපදාවන්ට මුහුණ දීම

දිවයිනේ පළාත් කිහිපයක ඇති වූ අධික වැසිපතනය නිසා ගංවතුර මෙන්ම නායයෑම්ද ඇති වී ඇත. හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ අඩි සීයක පමණ කොටසක්ද නිවාස පහක්ද කාසල්රී ජලාශයට කඩා වැටෙනු රූපවාහිනී නාළිකා ඔස්සේ රටටම දැකගත හැකි විය. ඉදිරියේදී නායයෑම් සිදු විය හැකි ප්‍රදේශ පිළිබඳව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දැනටමත් අනතුරු අඟවා ඇත. මේ පිළිබඳව වගකිව යුතු පාර්ශ්වවල අවධානය යොමු විය යුතුය.

ගංවතුර, නායයෑම් සහ නියඟය නිසා ඇති වන ආපදා මෙරටට කිසිසේත්ම ආගන්තුක නොවේ. එහෙත් පසුගිය දශක කිහිපයේදී මෙය වඩාත් නරක අතට හැරී ඇති බව පෙනෙයි. මීට හේතු ගණනාවකි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නායයෑම් පිළිබඳ ඉතා විධිමත්ව කරුණු දක්වන සංවිධානයකි. ඔවුන් මෙහිදී විෂය ප්‍රාමාණික උගතුන්ගේ පරීක්ෂණ හා නිරීක්ෂණ යොදාගැනීම විශේෂත්වයකි. එහෙත් පේනකරුවන්ගේ අදහස්වලට දෙන වටිනාකමවත් ඔවුන්ගේ අදහස්වලට ලැබී තිබේද යන්න සැක සහිතය.

කඳුකරයේ අවිධිමත් ඉදිකිරීම් නිසා අනාගතයෙහි බියකරු ව්‍යසනවලට මුහුණ දීමට එම පළාත්වල ජීවත්වන ජනයාට සිදු විය හැකිය. කඳු බෑවුම්වල නිවාස ඉදිකිරීමේදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන ක්‍රමවේදය අනුගමනය නොකිරීම විශාල වරදකි. මේ නිසා දේපළ හානි මෙන්ම ජීවිත හානිද සිදු වේ.

කඳුකරයේ පදිංචිවීම් සඳහා හේතු කිහිපයක් බලපායි. ඉන් පළමුවැන්න කිසිදු පටිපාටියකට හා නීතියකට යටත් නොවී මුදල් හා සමාජ දේශපාලන ගැම්ම අනුව හිතුමතේ ගොඩනැඟිලි ඉදිකිරීමය. දෙවැන්න අනතුර දැක දැකත් දිළිඳු බව නිසා අනතුරුදායක නිවාසවල දිගටම රැඳී සිටීමය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරුදායක ස්ථාන නම් කිරීමෙන් පසුව නිවාස හිමියන්ට විකල්ප ඉඩම් හඳුන්වා දීමේ වගකීම පැවරෙන්නේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාටය. ඉඩම් සීමිත ප්‍රදේශවල ඉඩම් හඳුනා ගැනීම දුෂ්කර කටයුත්තකි. ඉඩම්ලාභියාගේ කැමැත්තද වැදගත් වේ. ඊට හේතුව ජීවනෝපාය පිළිබඳ ගැටලුවයි. මේ අන්දමින් විකල්ප ඉඩම් ලබාදීම ප්‍රමාද වන අතරතුර නායයෑම් සිදු විය හැකිය. නායයෑම් නිසා අනතුරු සිදු වීමේ හේතුව නොනිසි ඉදිකිරීම් බවට ලඝු කළ යුතු නොවේ. නායයෑම ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ පිළිබඳව කඳුකරයේ ජනතාවට තිබෙන අවබෝධය ප්‍රමාණවත් නොවේ.

කඳුකරයේ තිබුණු ස්වාභාවික වන වැස්ම ඉවත්කර ටර්පන්ටයින් හා ෆයිනස් වගා කිරීම විශාල ව්‍යසනයක් බවට පත් විය. මෙය දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. පස කෙළින්ම හිරුඑළියට හා වර්ෂාවට නිරාවරණය වීම සෝදාපාළුව හා පස් කඩාවැටීමටද තුඩු දුන්නේය. දැන් මෙය ආපසු හැරවීමට අසීරු ක්‍රියාවලියක් බවට පත් වී ඇත. මේ නිසා හානි අවම කළ හැක්කේ නව ඉදිකිරීම්වලදී දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමෙනි. එමෙන්ම අවදානම් කලාපවල ජනයා දැනුවත් කිරීමෙනි.

මාතෘකා