වෛද්‍ය වර්ජන මාෆියාව! | ඇස පාදන රැස


වෛද්‍ය වර්ජන මාෆියාව!

වෛද්‍ය වර්ජන මාෆියාව!

මාතෘකාව පක්ෂග්‍රාහී යැයි බැලූ බැල්මට පෙනිය හැකිය. එහෙත් හිපොක්‍රටිස් දිවුරුම දී වෛද්‍ය වෘත්තියට බට වෛද්‍යවරුන්ගේ වර්ජන, තර්ජන අනුව මාෆියාවට වඩා ශිෂ්ට වචනයක් සොයා ගැනීම අසීරුය.

මේ වනාහි අමුතුම වෛද්‍ය කොට්ඨාසයකි. මේ උදවියගේ සටන් විලාසය බලන විට මාක්ස්වාදීන් කාණු පල්ලේය. එහෙත් මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නවුන් යැයි අප වරදවා වටහාගත යුතු නැත. ඊට හේතුව ඔවුන්ගෙන් බහුතරය රජයේ රෝහල්වල වෘත්තියෙහි යෙදෙන කාලයට වඩා උනන්දුවකින් චැනල් රස්සාවෙහි යෙදෙන හෙයිනි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන අතරම පුද්ගලික රෝහල්වල වැඩ කිරීම සම්බන්ධයෙන් ඔවුනට විළිලැජ්ජාවක් නැත.

මෙවර වර්ජන තර්ජනය එල්ල වී ඇත්තේ සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමට එරෙහිවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ කියයි.

"වත්මන් ආණ්ඩුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් ශීඝ්‍රයෙන් සීමාවෙමින් පවතින අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරයි"

අඳෝමැයි!

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන සමයෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදිවැදී සිටියේද? රාජපක්ෂ රෙජීමය සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී නැව් නැග සිටියේද? හිටපු ආරක්ෂක ලේකම් වෛද්‍ය සභාවේ ලොක්කාට තර්ජනය කර සයිටම් ගැන කට වහද්දී ඒරොප්පෙට ගොස් සිටියේද? මොනවද මේ කතා?

රෙජීමයෙන් ආරම්භ කළ සයිටම් විශ්වවිද්‍යාලය සඳහා වරදාන ලබාදෙන එක් අවස්ථාවක හේතුවාදී ක්‍රියාකාරික මහාචාර්ය කාලෝ පොන්සේකා, මහරජතුමා අසලින්ම අරලියගහ මන්දිරයේ සිටි බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතකද? වෛද්‍ය උපාධිය නිම කිරීමට ආසන්නයේ සිටින මේ දූ පුතුන් මරාගෙන කන්නට කියාද වෛද්‍ය‍හොරුන් කියන්නේ?

ඔවුහුද උසස් අධ්‍යාපනයට උරුමකම් ඇති මෙරට උපන් දරුවෝ වෙත්.

ඊනියා වෛද්‍ය නිලධාරී සංගමයේ තවත් ප්‍රකාශයක් මෙසේය.

"විදේශීය ආයතන සමග ගිවිසුම් මගින් සම්බන්ධ වී උපාධි අලෙවි කිරීමට මින් හැකියාව ලැබේ."

මේ වනාහි ජවිපෙන් සොරකම් කරගත් පැරණි සටන් පාඨයකි. රජයේ විශ්වවිද්‍යාලවලට යෑමේ වරම අහිමි වූ විශාල පිරිසක් අද එතෙර විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවා අධ්‍යාපනය ලබති. ඒ අනුව අපේ විශාල ධනයක් දැනට දශක කිහිපයක සිට එතෙරට ඇදී යයි. එහෙත් රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම මගින් එතෙර යන සිසුන් මෙතෙර රඳවා ගනිමින් විදෙස් සිසුන්ටද අවස්ථාව දීමෙන් සැලකිය යුතු විනිමයක්ද උපයා ගත හැක. ඒවායෙහි ප්‍රමිතිය සකස් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටද මැදිහත් විය හැකිය. එහෙත් ඖෂධ ජාවාරමේ යෙදෙන සමාගම්වලින් ප්‍රතිලාභ ලබන වෛද්‍යවරුන් මීට එරෙහි වීම හාස්‍යජනකය.

රෙජීමය කරද්දී නිහඬව සිටි මේ පිරිස හදිසියේ නින්දෙන් පිබිද ඇත්තේ දැන් පවතින නිදහස අනුව ඕනෑම හාල්පාරුවකුට ජනපතිට, අගමැතිටද තර්ජනය කිරීමේ අනුහස ලැබී ඇති හෙයිනි. ලෙඩුන් එලොව යැවීම ඔවුනට මහ කජ්ජක් නොවේ. දොස්තරගේ රස්සාව කොන්දොස්තර රස්සාවට වඩා වෙනස් බව ඔවුන්ට තේරුම් යන්නේ ඉහළින් එන ඇමතුමකින් වර්ජන නවත්වන තර්ජනය එන විටය. කලින් තිබුණේ එවැනි පාලනයකි. එදා සහ අද අතර ඇති වෙනස එයයි.

මේ සංගමය පෙනී සිටින්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නම් පළමුව ඔවුන් කළ යුත්තේ ටියුෂන්වලට වැට බැඳ පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයට බල කිරීමය. පුද්ගලික පාසල් වසා දැමීමට අරගල කිරීමය. එහෙත් මොවුහුද එම අධ්‍යාපනයේම ප්‍රතිඵල වෙත්.

ඇත්ත වශයෙන් මොවුන්ගේ යටි අරමුණ සයිටම් සටනට මුවාවී සුදු වෑන් දේශපාලනයට පාර කැපීම නොවේද?

මාතෘකා