මිනිස්කමේ බර

මිනිස්කමේ බර

මිලියන ගණනක මානව ඇස් එකම පිටියක් දෙසට යොමු වූ මහා සැණකෙළිය නිමා වූයේ වසර හතරකට ලෝක පාපන්දු කිරුළ 'ප්‍රංශ'යට හිමිකර දෙමිනි. උද්වේගකර තරගයකින් පසුව ප්‍රතිඵලය සටහන් වූයේ කිරුළ ප්‍රංශයටත් 'මනුස්සකම'ලෝකයටත් ප්‍රදානය කරමිනි.

ශිෂ්ටාචාර ගමන් මඟ දෙස පෙරළා හැරී බලන විට එහි ආරම්භය ප්‍රාථමික ගෝත්‍රිකත්වයන්ගෙන් පිරී පැවැතිණි. තමන්ට එදිරිව සිටින්නාව මරාපියා අහරට ගැනීමේ ත්‍රාඩ ලක්ෂණ එකී ගෝත්‍රික සමාජයෙහි පැවැතිණි. එහෙත් කාලානුරූපීව ගෝත්‍රික සමාජය සිවිල් සමාජය බවට පරිවර්තනය වන විට ත්‍රාඩ ලක්ෂණ බැහැර වී මානව ගති ලක්ෂණ සමාජගත වෙන්නට පටන් ගති.

ක්‍රීඩාව වනාහී යට කී ගෝත්‍රික ලක්ෂණවලින් මිනිසා විනිර්මුක්ත කරන තීරණාත්මක බලවේගයකි. "ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ' යනුවෙන් කියමනක් වෙයි. ක්‍රීඩා තරගයක් කෙළවර ලෝකයට හඬගා කියන්නේ එකී උත්තුංග පණිවිඩයයි.

පාපන්දු ලෝක කුසලානයේ නිමාව සටහන් කළේද ක්‍රීඩාව පිළිබඳව පවත්නා පුරුෂාර්ථයන්ට මහඟු වටිනාකමක් ඉටු කරමින්ය.

ප්‍රංශය විසි වසරකට පසු ලෝක පාපන්දු කිරුළ හිමිකර ගැනීම රටක් වශයෙන් ඔවුන් ලද ජයග්‍රහණයකි.

ඊටත් වඩා සුවිශේෂී වන්නේ, රටක් ලෙස ප්‍රංශය 'මානව විවිධත්වයට'ලබාදී තිබූ ඉඩහසරය. 'තනි පැහැයට 'වඩා 'පාට පාට' කෙරෙහි දක්වන ගරුකටයුතු ළබැඳියාව මනාකොට ඉස්මතු කරන්නට ප්‍රංශය මෙවර ලෝක කුසලානය අවස්ථාවක් බවට පත්කරගෙන තිබිණි.

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් වැඩි පංගුව ජනවර්ග පදනමින් ගත් විට 'විවිධ'ය. අප්‍රිකාවෙන් ප්‍රංශය වෙත සංක්‍රමණය වූ ජනකොටස්වල තෙවන පරම්පරාව ප්‍රංශයට ලෝක කුසලානය ලබාදීමේ වැඩි බර අදින ලද නියමුවෝ වූහ. ජීවිතයේ මූලාරම්භය සරණාගත කඳවුරුවල ගතකොට, අනතුරුව ක්‍රමානුකූලව සාමාන්‍ය සමාජයට හුරුවෙන විට ප්‍රංශ සමාජය ඔවුන්ව භාර ගත්තේ 'එකම ජාතියක්' ලෙස සලකමින්ය. ඔවුහුද ප්‍රංශය තමන්ගේම රට ලෙස සැලකූහ. නිර්ලෝභීව පුරවැසිකම ලබාදුන් ප්‍රංශයට ඔවුහූ කළගුණ සැලකුවේද නිර්ලෝභීව ය.

ලෝකයේ කොතැනින් පැමිණියද ඔවුහූ පිටියට පිවිසියේ ප්‍රංශය දිනවන සිහිනය කැටිවය. දාඩිය, කඳුළු, ලේ සියල්ල හලමින් ඔවුහූ ස්වකීය ඒකායන සිහිනය වෙත හඹා ගියහ. ප්‍රංශයේ සියලු ජනයාගේ ආශිර්වාදය ඔවුනට හිමි විය. ප්‍රතිවාදීන්ව මට්ටු කරමින් පෙරට යන ප්‍රංශ ක්‍රීඩකයින් සියලුදෙනා 'එක රටක' විවිධ මිනිසුන් වූහ.

ප්‍රංශ පාඩමට පෙර මානව බැඳීමේ පාඩම් ලෝක ඉතිහාසය ඕනෑතරම් ඔප්පුකොට තිබේ. ක්‍රීඩාව ජාතියක් ගොඩනඟනයුරු වරක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කවුඩ්‍රි දේශනයේදී ප්‍රකාශ කළේය.

'ඒ ප්‍රේක්ෂකයන් මගේ පවුලයි. මා ඔවුන් වෙනුවෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ඒ ජීවය තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවය. මාත් සමඟ ඒ සෑම මිනිසෙකුම සිටිනවා. මම දමිළ ජාතිකයෙක්, මම සිංහලයෙක්, මම මුස්ලිම් ජාතිකයෙක්, මම බර්ගර් ජාතිකයෙක්. මම බෞද්ධයෙක්, මම හින්දු ආගමිකයෙක්, ඉස්ලාම් සහ කතෝලික අනුගාමිකයෙක්. එහෙත් මේ සියල්ලටම වඩා, අද සහ සදාකාලිකවම,

මා ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක්.'

ඔහු කීවාක් මෙන් සෙසු සියලු කටයුතුවලදීත් 'අගනා ප්‍රේක්ෂකයෙක්' විය හැකි නම් ඒ තරම් වාසනාවන්ත රටක් තවත් නැත.

සමගිය පිළිබඳව සරල උදාහරණ ඕනෑතරම් තිබේ. සුලබ කතන්දර අපමණ තිබේ. එහෙත් ඒවා සාධනීය ලෙස භාවිතයට ගන්නා අවස්ථා විරලය. ප්‍රාථමික හැඟීම්වලින් කුල්මත්ව මානව සංහතිය භේදභින්න කිරීමේ පාප කර්මය මොනතරම් ඛේදවාචකයක් ඉතිරි කරනවාදැයි කියා ඉතිහාසය දෙස හැරී බැලූ විට පසක් වෙයි.

එවැනි ඉතිහාස කතා යළි යළිත් ඔප්පු කරමින් සිටින්නේ සකල ලෝකයාම එකම මිනිස් වගක් ලෙස සැලකීමේ ඒකාන්ත අවශ්‍යතාව යය.

ප්‍රංශය ලෝක කුසලානය සේම මනුස්සකමද සුරැකිව රැගෙන ගිය රටක් ලෙස ඉතිහාස ගත වන්නේ ඒ නිසාය.

මාතෘකා