මරණ දඬුවම?

මරණ දඬුවම?

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන්නැයි කලක් තිස්සේ විවිධ පාර්ශ්ව වෙතින් ආ ඉල්ලීම තහවුරු කරමින් එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙය විශාල ජනප්‍රසාදයක් ලැබීමේ තීන්දුවක් විය හැකිය.

පසුගිය ආණ්ඩු සමයෙහි දැයට කිරුළ ප්‍රදර්ශනවලදී එල්ලුම් ගහ රැස්කකා නැරඹූ "අහිංසක බුද්ධිමත් ජනතාව" එය ක්‍රියාත්මක කරන්නැයි පෝළිමේ ගොස් අත්සන් තැබූහ.

එහෙත් එකල එය ක්‍රියාත්මක කිරීමේ තීන්දුව ගැනුණේ නැත. එය ක්‍රියාත්මක කළේ නම් තමන්ගේ චග්ගෝලයන් කිහිප දෙනකුට එලොව යන්නට සිදුවේ යැයි එවක රාජ්‍ය නායකයා කල්පනා කළා වන්නටද පුළුවන.

ඒ මොහොතෙහි අවශ්‍යව තිබුණේ විධායක ජනාධිපතිගේ අනුමැතිය පමණි.

මරණ දඬුවම ලබන්නන්ට එය ක්‍රියාත්මක නොවීමෙන් සිරගතව සිටීමේ අවස්ථාව සැලසුණේ මීට දශක කිහිපයකට පෙර සිට රාජ්‍ය නායකයා ඊට අත්සන් නොතැබීම හේතුවෙනි.

අපරාධ වැළැක්වීමේ මග එය නොවන බවට ලෝක මට්ටමින් ඇති වූ කතිකාවතත්, මරණීය දණ්ඩනය යනු ප්‍රචණ්ඩත්වයේම දිගුවකි යන අදහසත්, මිනිසුන් විසම කොට සැලකීම නිසා සමාජ අසාධාරණයට ලක්වූවන්ට ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවීමත් යන හේතු ඊට බලපෑය.

මරණ දඬුවම රාජාණ්ඩු සමයෙහි පටන් ක්‍රියාත්මක විය. ප්‍රංශයෙහි ගිලිටීනයෙන් ගෙල සිඳ මැරීමේ අමානුෂිකත්වය පුළුල් සංවාදයකට තුඩු දුන්නේය. අයිසන් හවර්ගේ පාලන සමයෙහි ලක්සම්බර්ග් යුවළ නිරපරාදේ විදුලි පුටුවෙහි තබා මැරවීමේ සිදුවීම ලෝක මට්ටමෙන් කම්පනයක් ඇති කළේය. හරිහැටි තහවුරු කර නොගෙන අහිංසකයකු මරා දැමුවහොත් ඒ වැරැද්ද නිවැරදි කළ නොහැක. සිර දඬුවමෙන්, පුනරුත්ථාපනයෙන් නිවැරදි වීමේ අවස්ථාව හිමි වේ. මරණයට පත් කිරීම ඒ සියල්ල අහුරයි.

චක්කවත්ති සීහනාද සූත්‍රය මිනිසා අපරාධවලට පෙලඹෙන සැබෑ හේතු දක්වමින් දණ්ඩන වේදය වෙනුවට රජවරුන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය මැනවින් විස්තර කරයි. ඒ අනුව මරණ දඬුවම බෞද්ධ චින්තන ක්‍රමයටද මුළුමනින්ම පරස්පරය.

බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සක්විති වත් අනුව යමින් නිවැරදිව රට පාලනය කිරීමෙන් අපරාධ තුරන් කළ හැකි බවය.

වත්මනෙහි ලොව රටවල් අතරින් අතිබහුතරයක්, එනම් 140ක් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරයි. එසේ වූ නිසා අපරාධ වැඩි වීමක් සිදු වී නැත. සත්‍ය වශයෙන්ම මරණ දඬුවම සහ අපරාධ අඩු වීම අතර කිසිදු සම්බන්ධයක් නැත. දහම් පාසල් අධ්‍යාපනය සඳහා රජය කරන කැප වීමට සාපේක්ෂව අපරාධ අඩු වීමේ ප්‍රවණතාවක් නැති බව දසක කිහිපයක දහම් පාසල් වාර්තා සහ අපරාධ වාර්තා අනුව පෙනී යයි.

මරණ දඬුවමට ඉඩ දුන් නෛතික මුලය වන දණ්ඩ නීති සංග්‍රහය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හඳුන්වා දීමකි. ඒ නීතිය වත්මනෙහි බ්‍රිතාන්‍යයෙහිද නැත. දණ්ඩ නීති සංග්‍රහය අදට නොගැළපෙන දුෂ්ඨ නීතියක් නිසා එය වෙනස් කිරීමේ යෝජනාවක් හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළේය. පුමුඛ යතිවරයන් පවා මෙයට එරෙහි වීම චක්කවත්ති සිහනාද සූත්‍රයට ද පිටුපා යාමකි.

 

මාතෘකා