සූදානම් ද?

සූදානම් ද?

ඊසාන දිග මෝසමේ වැසි බරපතල ලෙස ඇද වැටු‍ෙණ් නිරිත දිගටය. උඳුවප් සීතල නත්තල ද ඉක්මවා දුරුත්තේ ද ඇඟ හිරිගඩු පිපේ. කාලගුණය පුදුමාකාර වෙනසකට ගොදුරු වී තිබේ. කලට වැසි නොලැබේ. අකලට මහ වැසි කඩා හැලේ.

ශ්‍රී ලංකාව විශාල කාලගුණ විපර්යාසයකට ලක්ව ඇත. එය ලෝකයේ බොහෝ කලාප වලට ද බලපායි. කෙටි කාලයක් තුළ අධික වැසි ද දිග කාලයක් තුළ දරුණු නියග ද දක්නට ලැබේ. කාලගුණ විද්‍යාඥයන් පවසන පරිදි මෙය එල් නිනෝ හා ලා නිනෝ නම් ආචරණයේ බලපෑමකි.

කෙසේ හෝ වේවා 2012 පමණ සිට විටෙක නියඟය ද විටෙක මහ වැසි ඇදවැටී ගංවතුර ද නිසා රටම විශාල අනතුරක පවතී. එක් පසෙක ගංවතුර ආධාර රැස් කරද්දී තවත් පසෙක නියං ආධාර රැස් කරන මට්ටමට තත්ත්වය ඛේදජනක වී ඇත. වියළි කලාපයේ බොහෝ පැතිවල එක දිගට කන්න හතරක් පහක් කුඹුරු වගා කර නොමැත.

කාළගුණ විපර්යාසය ද ගෝලීය බව සත්‍යයකි. එයට පිළියම් කිරීම ද ගෝලීයව සිදුවිය යුතු බව සත්‍යයකි. එහෙත් එහි පල විපාකයන්ට මුහුණ දීම ජාතිකව සිදුකළ හැකිය.

කාලගුණ විපර්යාසයේ අනිවාර්ය ඵලය වන්නේ වර්ෂයක  දී ලැබෙන මුළු වර්ෂාපතනය කෙටි කාලයක් තුළ ලැබීමය. ඉතුරු කාලය නියඟයෙන් ගෙවී යයි. වර්ෂාව අධික කාලයේ දී ලැබෙන ජලය ආරක්ෂා කර ගන්නේ නම් හා පාංශු තෙතමනය රැකෙන කෘෂිකාර්මික උපාය උපක්‍රමයන් භාවිතා කරන්නේ නම් නියඟයට මුහුණ දිය හැකිය. එසේ නැත්නම් අවම වශයෙන් නියඟය නිසා විනාශවන කෘෂිකාර්මික බිම් අවම කරගත හැකිය. ජාතික ආහාර සුරක්ෂිතාව තහවුරු කරගත හැකිය.

පාංශු තෙතමනය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අපේ සමාජය තවමත් තේරුම් ගෙන ඇති ප්‍රමාණය සතුටුදායක නැත. මැද පෙරදිග කලාපයේ කෘෂිකාර්මික රටවල් වගා කටයුතු කරන්නේ වැසි ජලයෙන් නොවේ. ඔවුන් ස්වාභාවිකව ලැබෙන ජලයට වඩා විශ්වාසය තබා ඇත්තේ කළමනාකරණය කරන්නා වූ ජලය කෙරෙහිය.

බිමට වැටෙන එක ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙමියි කීවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. එහෙත් අවම වශයෙන් අතීත ජල තාක්ෂණය හෝ විධිමත් ලෙස යොදාගන්නට අප අපොහොසත්ය. ඊට හේතුව ජල කළමනාකරණයේ අපේ අනන්‍යතාව විනාශ කරගෙන තිබීමය.

2018 අය වැය ප්‍රකාශයේ දී ගමට වැවක් යැයි ව්‍යාපෘතියක් ගැන මුදල් අමාත්‍යවරයා අදහස් පළ කළේය. ඇත්තටම ගමට වැවක් ඇත්නම් එය මහඟු  සම්පතකි. ඒ ආශ්‍රිතව පරිසර පද්ධතිය අලුතින් සකස් වන අතර ඒ නිසා ජෛව පද්ධතිය සංස්කෘතිය ද නවීකරණය වේ. ගහ කොළ සතා සිව්පාවා ජලයෙන් පෝෂණය වේ. සෑම පස් පිඬක්ම ජලයෙන් පෝෂණය වේ. අපේ අතීත සිංහලයාගේ උරුමය ද අප රැකගත යුතු අභිමානය ද ඒ ජල කළමනාකරණයයි.

පොළොවට වැටෙන ජල බිඳු හිස් අහසට වාෂ්පවීමට නොදී පසෙහි තෙතමනය රඳවා ගැනීමට උපාය උපක්‍රමයන් සැලසුම් කිරීම අපේ පරිසර විද්‍යාඥයන්ගේ ද පාංශු විද්‍යාඥයන්ගේ ද වගකීම වේ. එවැනි වැඩපිළිවෙලක් ජාතියක් වශයෙන් අපට නුහුරු නුපුරුදු නොවන්නේ වාරි තාක්ෂණයත් ජල කළමනාකරණයත් අපේ අනන්‍යතාව බැවිනි.

ඒ දැනුම ප්‍රායෝගිකව සැලසුම් කර ළඟ එන්නා වූ නියඟයට මුහුණදීමට ඔබ අප සැම සූදානම් විය යුතුය.

මාතෘකා