තොන්ඩමන්ගේ තොණ්ඩුව

තොන්ඩමන්ගේ තොණ්ඩුව

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිවරයා හා සම්මුතියකට එළඹුණේය. ඒ අනුව උඩරට වතුකරයේ පළාත් පාලන ආයතන ගණනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ සමඟ ලංකා කම්කරු කොංග්‍රසය හවුලේ තරග වැදුණි. 
එසේ තරඟ වැදී පළාත් පාලන ආයතන කිහිපයක බලය ලංකා කම්කරු කොංග්‍රසයට හිමි වුණි. එසේ නොවූ පළාත් පාලන ආයතනයන්හිද වැඩි ආසන සංඛ්‍යාවක් ඔවුන්ට ලැබුණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසුගිය ඉරිදා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහජනතාව අමතමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක සමඟ විවෘත රථයක නැඟී රථ පෙළපාලියක ගමන් කරමින් මහත් උජාරුවෙන් යුතුව ඔහු ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ සහායෙන් තමන් පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්නා බවය.  
ආරුමුගම් තොන්ඩමන් හිටපු ඇමතිවරයාගේ මේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දැකිය යුතුය. මැතිවරණ සමයේදී ජනාධිපතිවරයාට මල් මාලා පළඳවමින් පිළිගෙන ඔහුගේ සහාය ලබා ගත් තොන්ඩමන් ප්‍රතිඵල නිකුත් වූ වහා ඒ ජන බලය සමඟ වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ හවුලට යෑම අශ්ශීලය. ව්‍යාපාරික අරමුණුවලින් යුත් මිනිසුන් මෙවැනි ළාබාල හැසිරීමක සිටියත් දේශපාලඥයන් එලෙස හැසිරිය යුතු නැත. එය ග්‍රාම්‍ය වන අතර ආචාරශීලීද නොවේ.
එහෙත් ආචාරශීලීභාවයට වඩා ආරුමුගම් තොන්ඩමන්ට වැදගත් වූයේ පළාත් පාලන ආයයතන කිහිපයක බලය ඩැහැ ගැනීමයි. එසේම ඇමති ධූරයක් නැතිව නන්නත්තාර වී සිටින තොන්ඩමන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබන්නට මාන බැලීය. එනම් පළාත් පාලන මැතිවරණය ජය ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙට අනින්දා රාජ්‍ය බලයද ගන්නවා යැයි සිතා කල් ඇතිවම අමාත්‍ය මණ්ඩල පුටුවක් වෙන් කර ගන්නට ද ඔහුට අවශ්‍ය වූවා වන්නට ඇත.
තොන්ඩමන්ගේ මේ දේශපාලනය වැඩි නෑකම් කියන්නේ අවස්ථාවාදයටය. අවස්ථාවාදයද එක් අවස්ථාවකදී කරන්නට තියෙන හොඳම ක්‍රියාව වන්නේය. එහෙත් ඊට ඇති ආචාර ධාර්මිකභාවය අමතක කරන්නට නම් කිසිවකුට නොහැකිය. කන්ද උඩරට රජු වන්නට මාන බලන තොන්ඩමන්ට මොන ආචාර ධර්මයන්දැයි ඔහුම කල්පනා කරන්නට ඇත.
කාලයක් ම ලංකා කම්කරු කොංග්‍රසයේ තනි ආධිපත්‍යයට නතුව තිබූ උඩරට වතු කලාපයේ දේශපාලනය අද වන විට වතු කම්කරු පක්ෂ කිහිපයක් අතර බෙදී ගොස් තිබේ. ඒ ලංකා කම්කරු කොංග්‍රසයේම නායකයන් අතිනි. ඒ අතර පලනි දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණාන් ඉදිරියෙන්ම සිටිති. පසුගිය මහා මැතිවරණයේදී තොන්ඩමන්ගේ බලය දියවෙමින් දිගම්බරම්ගේත් රාධා ක්‍රිෂ්ණාන්ගේත් බලය ඉස්මත්තට ආවේය, එහෙත් මෙවර මැතිවරණයේදී එය ආපිට කැරකුණ බවක් දක්නට ලැබේ.
වතුකරයේ දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කරන්නට හැකි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නොතිබීම රටේ සෙසු ප්‍රදේශවල ජනතාව මුහුණදෙන අර්බුදයේම ප්‍රතිඵලයකි. සෙසු ප්‍රදේශවල මහජනතාව මුහුණ දෙන සමාජ ප්‍රශ්නවලට වඩා බරපතල සමාජ ප්‍රශ්නවලින් පීඩා විඳින වතුකරයට නායකත්වය දෙන්නට තවමත් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නොමැත.
එනිසා වතුකරයේ ජනතාව එක් එක් මැතිවරණවලදී එක් එක් නායකයන් පසුපස යති. ගිය වර රාධා ක්‍රිෂ්ණන්ට හා දිගරම්බරම්ට හිමි වූ වතුකරයේ බලය මෙවර නැවතත් තොන්ඩන්ට හිමි වී ඇත්තේ එබැවිනි. එවැනි වටපිටාවක ඒ ජනතාවගේ දුක් කම්කටොලුවලින් පිරි දේශපාලනය තම බලය සදහා සූදූ ක්‍රීඩාවේ යෙදවීම ලැජ්ජාසහගතය. නමුත් කිසිදු ලැජ්ජාවකින් තොරව ආරුමුගම් තොන්ඩමන් කරමින් සිටිනුයේ ඒ ලැජ්ජා සහගත පාපකාරී ක්‍රියාවමය.

මාතෘකා