ජනතා වගකීම

ජනතා වගකීම

මෙරට ඉතිහාසයේ ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබේ. අධිකරණය ස්වකීය ස්වාධිනත්වය නැවතත් තහවුරු කර ඇත. අධිකරණය හැරුණු විට රාජ්‍ය පාලනයේ අනෙක් ප්‍රධාන කුලුණු ද්විත්වය වන ව්‍යවස්ථාදායකය සහ විධායකය යන දෙකම ජනතා පරමාධිපත්‍යයෙන් වරම් ලබයි.

නැවතත් ජනතා තීරණය උරගා බලන පළාත් සභා මැතිවරණයක් මුවවිටට මෙරට ජනතාව පැමිණ සිටිති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි ව්‍යවස්‌ථාවට අනුව 'ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන්නේය' යන ලෙස සඳහන්ව ඇත.

අත්හළ නොහැකි මේ බලය කෙතරම්ද යන්න ජනතාව තේරුම් ගෙන සිටිත්ද යන්න විමසීම වටී. ජනතා පරමාධිපත්‍යය යටතට ගැනෙන පාලන බලතල ගත් විට විධායක බලය ජනතාව විසින් තම ඡන්ද බලයෙන් තෝරාපත් කරන ජනාධිපතිවරයා විසින්ද, ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද, අධිකරණ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාරි සහ ආයතන මඟින්, පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ජනතා පරමාධිපත්‍යය යනු ඡන්ද බලය ලෙස අර්ථ දැක්‌වීම වරදක්‌ නොවේ.

ඒ අනුව ජනතාවට අන් කවරදාටත් වඩා 'තීරණාත්මක' අවස්ථවක් උදා වී තිබේ. ඒ තමන්ගේ 'ඡන්දයට' සාධාරණය ඉටු කළ හා නොකළ අයට පාඩමක් කියාදීමේ අවස්ථාවය. පක්ෂ පාට නොසලකා ඒ පිළිබඳව තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමි වෙයි. ලොව කොතැනකවත් සොබාදහමේ තීන්දුවට පිටින් යා නොහැකිය. තම තමන්ට රිසි පරිදි එකී අවස්ථාව ගළපා ගත හැකිය.

රට නිදහස ලැබූ දා සිට මේ දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16ක් තබා රටේ ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරු තෝරා පත්කරගෙන තිබේ. ඩොනමෝර් කොමිසම මඟින් ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නේ 1931 වර්ෂයේදීය.

අද භාවිත කරන 'පාර්ලිමේන්තුව' 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව 'රාජ්‍ය මන්ත්‍රණ සභාව' ලෙසත්, 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණවලදී 'පාර්ලිමේන්තුව' ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව 'ජාතික රාජ්‍ය සභාව' ලෙසත් අර්ථ දක්වා ඇත. 1978 ජනාධිපති ආණ්ඩු ක්‍රමය යටතේ එය 'පාර්ලිමේන්තුව' ලෙසත් අර්ථ දක්වා ඇත. නාම අර්ථය කුමක් වුවත් එයින් සිදුවන්නේ 'රටට ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායක' කාර්යභාරයයි. එය උත්තරීතර වන්නේ එනිසායි.

දෙකෝටියක ජනතාව ස්වකීය නියෝජිතයන් පත්කර හරින්නේ එතැනටයි. ඒ යන නියෝජිතයන් නියෝජනය කරන්නේ දෙකෝටියක් ඉක්මවූ ජනතාවගේ මතයයි.

මේ මොහොතේ රටවැසියා වෙසෙසින්ම විමසා බැලිය යුත්තේ තමා ඡන්ද දායකයෙක්ද යන්න පිළිබඳවය. ඡන්ද දායකයකු වීමේ වැදගත්කම පිළිබඳව තවමත් පුරවැසියන්ට නිසි අවබෝධයක්‌ නොමැති අතර වාර්ෂිකව පුද්ගලයන් ලක්‍ෂ පහක්‌ පමණ ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචි නොවන බව පැවසේ. නොදැනුවත්කම, අනවබෝධය හා උනන්දුවක්‌ නොමැතිකම නිසා මේ තත්ත්වය හට ගනී.

ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය සුරැකෙනුයේ නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ තුළය. ඒ සඳහා සුදුසුකම් සහිත සියලුම පුරවැසියන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබීම අත්‍යාවශ්‍ය කරුණකි.

දේශපාලනඥයන් සියල්ලෝම පාහේ හැල්මේ දුවන්නේ 'බලය' සොයාය. එහෙත් ඔවුහු බලය ලබාගන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයෙනි.

එකී පරමාධිපත්‍ය නොසලකා හැරීම 'පුරවැසියකුට' තරම් නොවේ. මක් නිසාද යත් එක් ඡන්දයක් පවා තීරණාත්මකව රටක අනාගතයට බලපෑම් කරන නිසාය.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සතු පරමාධිපත්‍ය බලය 'පැත්තකට' කිරීමේ බරපතල ඛේදවාචකයක් මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කළේ මීට සති කිහිපයකට පෙරය. ඒ අලුතින් ඡන්ද දායකයන් ලියාපදිංචි වීමේ ප්‍රවණතාව ඉතා බරපතළ ලෙස අඩු වී තිබෙන බවය. ඒ අනුව මේ වසරේ ලියාපදිංචි වීමේ ප්‍රමාණය එක්ලක්ෂ 75,000 දක්වා අඩු වී තිබේ.

ඡන්දය කෙරෙහි උනන්දුව හීන වීම කිහිප අතකින්ම සමාජයට අහිතකරව බලපාන බව කිව යුතුමය. ඕනෑම රටක යහපැවැත්ම උදෙසා තාරුණ්‍ය බලවත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් මෙලෙස ස්වකීය සක්‍රිය දායකත්වය සපයන්නට තිබෙන අවස්ථාවන් නොසලකා හැරීම අපහසුවෙන් ලබාගත් 'යතුරින්' දොර නෑර සිටීමක් වැනිය.

දෙවරක් පැවැති අසාර්ථක තරුණ කැරැලිවලදී මෙන්ම, තිස් වසරක් තිස්සේ ඇදී ගිය දෙමළ ඊළාම් කැරැල්ලේදී ද වැඩිම සහභාගිත්වයක් දැක්වූයේ තරුණයෝය. ඊට හේතු වූයේ ඔවුන් 'සමාජමය' කාර්යභාරයෙන් ඈත්කොට තැබීමය. මේ කැරලි තුළින් වැඩිම හානියක් අත්පත් කර ගත්තේද තරුණ ප්‍රජාවයි. එමතු නොව, මේවා මඩින්නට මැදි වූ ආරක්ෂක හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක වැනි බලකායන්ගේ බහුතර සාමාජිකයන්ද, වැඩිපුරම හානියට පත් වූ පිරිස්ද තරුණයෝය.

තමන් සතු බලවත් අවිය වන ඡන්ද බලය අත්හැර දමා පැත්තකට වීම සන් කරන්නේ අඳුරු පෙරනිමිතිය. අපි කෙසේ වෙතත් ලෝකයා මේ පරමාධිපත්‍ය බලය අත්පත් කරගත්තේ අප්‍රමාණ කැපවීම් මතිනි. ඒ වෙනුවෙන් ජීවිත පවා පූජාකොට තිබිණි. එය ලංකාව ලබාගත්තේ බන්දේසියකින් විය හැකිය. එහෙත් අපට බන්දේසියකින් පිළිගැන්වූයේ ලෝකයා දුක් කම්කටොලු මැදින් ලද 'වස්තුවක්' ය.

එය වගකීම්සහගතව ක්‍රියාවට නැංවීම පුරවැසි අයිතියකි.

මාතෘකා