කුඩු

කුඩු

සාමාන්‍යයෙන් පිටි ලෙස ගත හැකි නම් ගමකටම 'රෝටි'පුළුස්සා කෑ හැකි මට්ටමේ කුඩු තොගයක් පසුගියදා හසු විය. එය මෙරටින් හමුවූ දෙවන විශාලතම කුඩු තොගය ලෙස වාර්තාගතය.

හෙරොයින් යනු අබින් විශේෂ රසායනික ක්‍රියාවලියකට ලක්‌කර නිපදවන මත්ද්‍රව්‍යයක්‌ වන අතර එහි සුදු හෙරොයින්, කළු හෙරොයින් හා දුඹුරු වශයෙන් ප්‍රභේද කිහිපයක් වෙයි. කෙසේ වෙතත් ලංකාවේ ප්‍රසිද්ධ සුදු හෙරොයින් වන අතර දුඹුරු හෙරොයින් මිලෙන් ඉතා අධිකය.

1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරාදායකර ඖෂධ වර්ග (සංශෝධන) පනතට අනුව හෙරොයින් ග්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කළ හැකිය.

හෙරොයින් ග්‍රෑම් එකකට අඩු ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් රුපියල් පහළොස් දහසකට නොඅඩු, රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට ද, අවුරුදු තුනකට නොඅඩු, අවුරුදු හතකට නොවැඩි කාලයක් දෙයාකරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමටද ලක් කළ හැකිය.

එලෙස ගත් කල, ටොන් ගණනක කුඩු ගෙන්වූ ජාවාරම්කාරයින් වසර කීයක් නම් හිරගත කළ හැකිද?

ඇෆ්ගනිස්ථානය හෙක්ටයාර් 328000ක අබිං ගස් වවන අතර කෘෂිකාර්මික ශ්‍රී ලංකාවේ වී වගාවටවත් එතරම් හෙක්ටයාර ප්‍රමාණයක් භාවිත කරන්නේ නැත.

පාතාලය, දේශපාලනය සහ කුඩු ජාවාරම එකකට එකක් සම්බන්ධ, එකට ගමන් කරන දෑ ය. ඒ තුන අතර පවත්නා අවියෝජනීය සබඳතාව හේතුකොටගෙන කුඩු රජදහන නිර්මාණය වෙයි.

මේ රටේ ඇස්‌තමේන්තුගත කුඩුවලට ඇබ්බැහිවූවන් ප්‍රමාණය 45000ක්‌ බවත්, ඔවුන්ට දිනකට හෙරොයින් කිලෝ හතරක්‌ අවශ්‍ය බවත් පැවසේ. එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි මිස අඩු නොවන බවට කැට තැබිය හැකිය.

කුඩුවලට යොමු වීම සමාජ ගැටලු අටෝරාසියක් නිර්මාණය කිරීමට සමත්ය. සමාජ විරෝධී ක්‍රියාවන්වල තෝතැන්න බවට කුඩු ජාවාරම පත්ව තිබේ.

මෙරට සමාජය වෙලාගෙන තිබෙන්නේ 'කුඩු'වලින් පමණක් යැයි වරදවා සිතිය යුතු නැත. ලෝක ප්‍රසිද්ධ DAY RAPE DRUG වර්ග වූ එක්‌ස්‌ටසි, රෝයිපොනෝල්, කැට්‌ටිනේට්‌ පවා මෙරට තිබෙන අතර ලංකාවේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන 21ක්‌ පමණ සංසරණය වෙයි. මාවා, බාබුල්, හාන්ස්‌ ගුට්‌කා, බීඩා ආදී නිෂ්පාදනද වෙයි.

හෙරොයින් භාවිත කරන්නන් එය නවත්වන්නට උත්සාහ කරද්දී හෙරොයින් ජාවාරම්කරුවන් සිදු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකි. ඒ නොමිලයේ හෙරොයින් ලබාදෙමින් ඊට නැවත හුරු කිරීමට උත්සාහ කිරීමය.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්යය බළකාය, සුරා බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන මඟින් විවිධ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීම් සිදුකළ ද මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ කිසිදු අඩුවක් දක්නට නැත්තේ ඇයි?

එක් අතකින් කඩු ජාවාරම් හේතුවෙන් 'කූඩුකොට' සිටින ජාවාරම්කරුවෝ නිසි නින්දේ සිර මැදිරිවල සිට ඒවා මෙහෙයවීම සිදු කරති. වැලිකඩ බන්ධනාගාරය පවා එහි මර්මස්ථානයකි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මරණීය දණ්ඩනය නියමු වු සහ බරපතළ සිරදඬුවම් විඳින සිරකරුවන් විදෙස් රටවල සිටින පාතාල සහ මත්කුඩු ජාවාරම්කරවන් සමඟ රිසි සේ සබඳතා පවත්වන බව පැවසේ. අනෙක් අතට දේශපාලන හස්තයන්ගේ සහායද ඊට ලැබෙයි.

එහෙයින් ත්‍රස්තවාදය නිමා කරන්නට හැකි වූ රටක කුඩු ජාවාරම නිමා කරන්නට බැරි ඇයිදැයි යන්න වෙනම සොයා බැලිය යුතු කාරණයකි.

මාතෘකා