තරුණයන්ටත් ඉඩක් !

තරුණයන්ටත් ඉඩක් !

2017 වසරේ එළිදැක්වූ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අලුත්ම වචනයක් හඳුන්වාදී ඇත. ඒ 'Youth quake' යන්නය. තරුණයන්ගේ ක්‍රියාකාරකම් ඉන් අර්ථ ගැන්වේ. රටක ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, දේශපාලන සංවර්ධනය හා සංස්‌කෘතික සංවර්ධනය කියන සියල්ල ඉදිරියට ගෙන යෑමට නම්, තරුණ පරපුරට එහි වගකීම් භාරදිය යුතුයි යන කථිකාවත මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබේ.

ලොව පුරාම තාරුණ්‍යයට කිසියම් වගකීමක් පැවරී තිබේ. ලෝකයේ බොහෝ රටවල නායකත්වය තරුණයන් වෙත ලැබීමේ ප්‍රවණතාවක් මෑතක සිට දකින්නට ලැබේ.

ජස්ටින් ටෲඩෝ කැනඩාවේ 23 වන අගමැතිය. ලිබරල් පක්ෂයේ නායකයා වනවිට ඔහුට වයස 36කි. වයස 44දී ඔහු අගමැතිවරයා බවට පත් විය. එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපතිය. 2017 මැයි 14 වැනි දින වයස 39දී හෙතෙම ජනාධිපති ධුරයට පත් විය. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ළාබලතම ජනපතිය. ජූරි රටාස් එස්ටෝනියා අගමැතිය. ඔහු, 2016 නොවැම්බර් මස වයස 38දී අගමැති විය.

ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ අගමැතිනියයි. 2017 නොවැම්බර් මස වයස 37දී අගමැති විය. සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියාවේ චාන්ස්ලර්ය. ඔහු 2017 ඔක්තෝබර් මස වයස 31දී චාන්ස්ලර් ලෙස පත් විය.

ලෝකය ස්වකීය දේශපාලන යාවත්කාලීන වීම ප්‍රායෝගිකව අර්ථ ගන්වන්නේ එහෙමය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවදුරටත් එතරම් විවෘත මනසකින් කටයුතු කරන්නේ නැත.

එහෙත්, නියෝජිත ආයතනවල තරුණයන්ට අවස්ථව සලසා දීම නොවළහා කළ යුතු කාර්යයකි.

1971, 87-89 වැනි කාල පරිච්ඡේදවල පැවති සිංහල තරුණයන්ගේ කැරැලිවලදී මෙන්ම, තිස් වසරක් තිස්සේ ඇදී ගිය දෙමළ ඊලාම් කැරැල්ලේදී ද වැඩිම සහභාගිත්වයක් දැක්වූයේ ද, එම හේතුවෙන් වැඩිම හානියක් අත්පත් කර ගත්තේ ද තරුණ ප්‍රජාව වන අතර, ඒවා මඩින්නට ඉදිරිපත් වූයේත් තරුණයන්මය.

ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම තරුණ සංවිධාන විවිධ නම් ඔස්සේ පිහිටුවා ඇත. අතීතයේ නම් තරුණ දේශපාලන සංවිධාන යනු ජාතික නායකත්වයට බිම් මට්ටමේ සිට රැගෙන එනු ලබන සංවිධාන ව්‍යුහයකි. එහෙත් වර්තමානයේ බොහෝ දේශපාලන පක්ෂවල කිහිප විටක නායකත්වය හරි මඟට ගැනීමට හඬක් නඟනු කෙසේ වුවද, තමන් නියෝජනය කරන තරුණ තරුණියන් වෙනුවෙන් හඬක් නඟන්නේද නැත.

පක්ෂයක තරුණ සංවිධාන දේශපාලන පක්ෂ ජයග්‍රහණ වෙනුවෙන් කැපවී පමණක් ඵලක් නැත. පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළට තරුණ සාමාජිකයන්ගේ අදහස් එකතු කිරීමත්, අනික් අතට පක්ෂයේ වරප්‍රසාද, තනතුරු, තීරණ ගැනීමේ බලය, දේශපාලන නායකත්වයට තරුණ ප්‍රජාව සහභාගී කරවා ගැනීමටත් කටයුතු කළ යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තිවලට, පක්ෂ ප්‍රතිපත්තිවලට හා මැතිවරණ පනත් සංශෝධනවලට තරුණ නියෝජනයට ඉඩක් ඉල්ලා හඬ නැඟිය යුතුය.

රටේ වැදගත් දේශපාලන තීන්දු, පනත් නීති සම්පාදනයේදී හා ජාතික ගැටලුවලට විසඳුම් සෙවීමේදී තමන් නිවැරදි යැයි ක්‍රියා කරන සම්ප්‍රදායික පාරම්පරික වැඩිහිටි නියෝජිතයන් නිසා විවිධ වූ දේශපාලන අර්බුද නිර්මාණය වීමට හේතු වී තිබේ. ජාතික ප්‍රශ්නවලදී හෝ ජාතික වශයෙන් වැදගත් වන කිසිදු තීරණ ගැනීමේ කටයුතුවලට ප්‍රමාණවත් තරුණ නියෝජනයක් ලබාදීමේ පූර්වාදර්ශයක් නොමැතිවීම තවදුරටත් සිදු නොවිය යුතුය.

අප දෙවරක් දකුණේ කැරලිවලින් සහ එක් වරක් උතුරේ කැරැල්ලකින් පීඩා විඳි සහ තවමත් පහව නොගිය වෙඩි බෙහෙත් දුමාරයෙන් සමන්විත රටකි.

නැවත නැවතත් තරුණ විප්ලවයන් සිදු නොවීමට නම් සිදු කළ යුත්තේ තරුණ අසහනය වැළැක්වීමේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ නියෝජන අවස්ථා තරුණ ප්‍රජාව වෙත සමීප කිරීම ය.

මාතෘකා