ඇප නැති ණය

ඇප නැති ණය

තාරුණ්‍යය යනුවෙන් අදහස් වන්නේ වයස අවුරුදු 18-35ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් නිර්මාණශීලීත්වයෙන් සේම ජවයෙන්ද අනූනය. ඕනෑම රටක තරුණ පිරිස ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ඉතා වටිනා මෙහෙයක් ඉටු කරයි. රාජ්‍යයක් නිවැරදි සමාජ හා ආර්ථික වර්ධනයක් වෙත යොමු වෙමින් පවතින්නේද නැත්ද යන්න රටක තරුණ ප්‍රජාව හැසිරෙන ආකාරයෙන් හඳුනාගැනීමට පුළුවන.

ලෝකය පුරාම තාරුණ්‍යය වෙනදාට වඩා වේගවත් පිබිදීමකට ලක්ව තිබේ. බොහෝ රටවල රාජ්‍ය පාලනය තාරුණ්‍යයට භාර වී ඇත. ආර්ථික මර්මස්ථානවල මූලිකත්වය, සයිබර් අවකාශයේ ප්‍රමුඛත්වය, නව තාක්ෂණයේ ඉඩහසර අත්පත් කරගෙන සිටිනුයේ තාරුණ්‍යයයි. නව ව්‍යාපාරික අවස්ථාවන්හි කිරුළ හිමිකරගෙන සිටිනුයේ තරුණ ව්‍යාපාරිකයින්ය.

ඒ අනුව මේ කාර්තුව තරුණයින්ගේය.

ශ්‍රී ලංකාව යනු දෙවරක් අසාර්ථක තරුණ කැරලි සිදු වූ, ඒ තුළින්ම තරුණ ජීවිත දහස් ගණනක් අහිමි වූ සහ සදාකාලික අබ්බගාත තත්ත්වයට පත් වූ රටකි. වසර තිහක යුද්ධයත්, දකුණේ සිදුවූ තරුණ කැරළි දෙකත් මෙරට ආර්ථිකය සහ සංවර්ධනය දශක ගණනාවක් පසුපසට ඇද දමන්නට සමත් විය. අදටත් අප භුක්ති විඳින්නේ එකී ශෝකාලාපයේ වේදනාත්මක අත්දැකීම්ය. ශ්‍රී ලංකාව තරම් තරුණයා දෙස බියෙන්, සැකයෙන්, උපහාසයෙන් බැලූ තවත් රටක් තිබුණාද කියා සැකය.

ඒ තරමටම තරුණ ජවයට මෙරට භීතියෙන් සිටියේය.

වර්තමානයේ සීඝ්‍රයෙන් වෙනස් වන සහ සමීප‍ව සම්බන්ධ වී ඇති ලෝකය තුළ ජාතික සංවර්ධනයට අපේ සමාජ තුළ පවතින අගයන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මෙන්ම ලෝකයේ සංවර්ධනයට තරුණ දායකත්වය අතිශයින් වැදගත් වුවත්, පැවති සියලු රජයන්ගෙන් සිදු වූ බලවත්ම අඩුපාඩුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ ශ්‍රමය නිවැරදිව බද්ධ කර නොගැනීම ය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට එන්නේ තරුණ පරම්පරාවේ මහඟු දායකත්වය ඇතිවය. ඉකුත් මැතිවරණයේදී තරුණ ඡන්ද ප්‍රකාශ වීමේදී වැඩි බහුතරය හිමිව තිබුණේ නව ආණ්ඩුවටය.

නව ආණ්ඩුව එතෙක් මෙතෙක් කිසිදු රජයක් තරුණයින් වෙනුවෙන් නොගත් ක්‍රියාමාර්ගයක් වෙත සිය අවදානය යොමුකොට තිබේ. ඒ අනුව, ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.

'තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ.

ඒ අනුව ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට සිහින දකින තරුණ ප්‍රජාවට එයින් මහත් ශක්තියක් ලැබේ.

බොහෝදෙනෙකුට සාර්ථක අදහස් පවතී. එහෙත් එය යථාවක් කරගන්නට පවතින මූලිකම අභියෝගය මුදල් ය. අදාළ ප්‍රාග්ධනය සපයා ගන්නට දස අතේ කල්පනා කරන තරුණයාට මෙතෙක් සිදු වූයේ විශාල රස්තියාදුවකින් පසු හිස් අතින් ඔහේ සුසුම් හෙලන්නට ය. ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ තරුණයෝ ස්වකීය උදාර ව්‍යාපාර අපේක්ෂාවන් වියැකෙන්නටදී බලා සිටියහ. මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ - තරුණියන් තෝරාගෙන, ඔවුන්ට ඇප නැති ණය ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

බිංදුවෙන් පටන්ගෙන සිටුවරුන් දක්වා ගිය මිනිසුන් පිළිබඳ කතා කොතෙකුත් අසා තිබේ. විටෙක හූමිටි තබමින්ද, විටෙක විශ්මයෙන්ද, තවත් විටෙක ආශ්වාදයෙන්ද එවන් කතා රසවිඳ ඇතිවාට සැක නැත.

කෙසේ වෙතත් විසල් කන්දක් තරණය කරන අයුරින් ජීවිත කන්ද තරණය කිරීම පහසු නැත. ඒ වනාහී අප්‍රමාණ කැපවීමකින් ලබන ජයග්‍රහණයකි. එකී ජයග්‍රහණය ලබන්නට සියලුදෙනාට හැකියාවක් නැත.

ලෝකයම තාරුණ්‍යය හා බද්ධව, ඔවුන්ගේ කුසලතාවයන් ඔස්සේ පෙරට යන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවද එකී මඟ තෝරා ගැනීම පැසසුම් කටයුතුය.

මාතෘකා