ඇමැතිනියගේ ප්‍රකාශය

ඇමැතිනියගේ ප්‍රකාශය

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැඟුණු කාන්තාවන් පිරිසක් විරෝධතාවක් නැඟුවේ “නඩු කඩිනම් කරන්න” යැයි කියා ය. දෙදිනක් කරන ලද විරෝධතාවයෙන් පසු පිරිස නැවත පුරුදු ලෙස බිමට බැස තිබේ. මේ සිදුවීම අතරතුර විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ “කුමන විරෝධතා ඉදිරිපත් කළත් නීතියට පිටින්” කිසිවක් නොකරන බවය.

“වහලය උඩ නොවෙයි, කොහේ නැග්ගත් අධිකරණයේ නඩුවක් විභාග කළ යුතු පිළිවෙළක් තිබෙනවා. ඒ පිළිවෙළකඩන්න අපිට බැහැ.” අමාත්‍යවරියගේ වචනයෙන්ම කීවේ එහෙමය.

පළමුකොට, විරෝධය දැක්වීමට මිනිසුන්ට තිබෙන අයිතියට අපි ගරු කරමු. දෙවැනිකොට ඊට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ගැන සතුටු වෙමු. සතුටු වන්නේ මීට වසර කිහිපයකට පෙර මෙවැනි විරෝධක් සඳහා වැලිකඩ වහලය මත නැඟි රැඳවියන්ට එවක ආණ්ඩුව 'සලකපු' ආකාරය හා මෙවර සැලකීම සසඳමිනි.

අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක යහපැවැත්මට ඉතා වැදගත්ය. ඒ නිසාම කිසිවෙක් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස නොකිරීමටත් වගබලා ගනිති. එහෙත් මහ පාරේ නඩු අසා නීතිය කැලේට දක්කාගෙන ගිය ඉතිහාසයක් අපට තිබිණි. අගවිනිසුරුවරිය ගලග්‍රහණයෙන් ගෙන දොට්ට දැමූ ඉතිහාසයක් තිබිණ. දිවිනැගුම් පනතට පළාත් සභා අනුමැතිය ගත යුතු යැයි එවක ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට 'කිපුණු' ආණ්ඩුව අගවිනිසුරුවරිය එළවා දැමීය. ඒ තබා අගවිනිසුරුවරිය කාන්තාවක යන්න පවා අමතක කොට ඈට සමච්චල් කළ, නරුම ලෙස පලිගත් ඉතිහාසයක් තිබිණ. එවක සිදුවීම් සංරක්ෂිත වීඩියෝවල නරඹන්නේ නම් ඔබ තිගැස්මට ලක් වනු ඇත. අප පසුකොට ආවේ මෙවන් භීම යුගයක්දැයි විමතියට පත්ව සිතනු ඇත.

නීතියේ සාරය මස් වැද්දන් රංචුවක් සේ එක්ව උරාගත් 'ඊනියා දේශප්‍රේමීන්' නීතියේ දෙවඟන කුදලාගෙන විත් 'කංකාරි'නැටූහ. ඒකාධිපති, අත්තනෝමතික ආණ්ඩුවක් කටයුතු ආරම්භ කරන්නේ අධිකරණය දඬුකඳේ ගසමින්ය. මෙරට ඉතිහාසයේ කෲරතම පනත වූ 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොටගෙන, නීතිය ජනපති අතට ගත් යුගයක් තිබිණි.

මෙතෙක් ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් අධිකරණය කෙලෙසීම සිදු වූයේ එවකය. පොල්පොට්, පිනෝචේ, බොසාකා, ඉඩි අමීන්, ගඩාෆි, හිට්ලර්, මුසලෝනි වැන්නන් පළමුකොට සිදු කළේ එයයි. ඉකුත් ආණ්ඩුවද කළේ එයයි. ජනාධිපති යනු සියල්ල අභිභවා ඇති අධිපතියා බවට පත් වූ අතර අධික බලය මැඩලීම සොබාදහම විසින් සිදු කරන බවට වන කතාව මීට තෙවසරකට පෙර ජනවාරි 8 වැනිදා පසක් විය.

දශකයකට වැඩි කලක් ඈලියාවට ගිය රටකුත්, මහපාරේ කෙලෙසා දමා තිබූ නීතියකුත් අත්විඳි බොහෝ දෙනා තවදුරටත් සිටින්නේ ඒ සිහිනෙන්මය. සිතූ සේ නඩු අසා රුචි ලෙස තීන්දු දෙන අධිකරණයක් කිසිවෙකු ප්‍රාර්ථනා කරනවා නම් ඒ සිහිනයෙන් ඇහැරෙන එක හොඳය.

නඩු කටයුතු පමාවීම, නීතියේ සිදුරු අතරින් වරදකරුවන් රිංගා යාම වැනි සිදුවීම් නොසලකා හැරිය හැකි නොවේ. එහෙත් අධිකරණ අමාත්‍යවරියගේ ප්‍රකාශයට අප එකඟ වන්නේ “නීතිය කඩන්න අපට බැහැ” යන ප්‍රකාශයට පූර්ණව එකඟ වෙමිනි.

මාතෘකා