දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම

දින හතරක් තිස්සේ පැවති දුම්රිය වර්ජනය අවසන් විය. වර්ජකයන් සමග කළ තීරණාත්මක සාකච්ඡාව මීට බලපෑවේ ය. මෙය දිග් නොගැසී අවසන් වීම මහජනයාගේ පාර්ශ්වයෙන් බැලූ විට විශාල අස්වැසිල්ලකි. රජයේ පාර්ශ්වයෙන් බැලූ විට වියවුලකින් ගැලවීමකි.

වර්ජනයේ ප්‍රතිපල ලෙස රුපියල් මිලියන 72ක අලාභයක් සිදුව තිබේ. සුළු දේපළ අලාභද සිදු වී ඇත. වර්ජනය ඇරඹුණේ 8 වැනිදා ප.ව. 3.00 ටය. මේ නිසා රැකියා සඳහා පැමිණි විශාල ජනකායක් අතරමං විය. දුම්රියෙන් ගමන් යොදාගෙන සිටි විදෙස් සංචාරකයන් හමුවේ මෙරට ප්‍රතිරූපය පළුදු විය.

මේ විභාග සමයයි. වර්ජනය නිසා පාසල් දරුවන් විශාල පිරිසක් දැඩි පීඩාවකට මුහුණ දුන් බව අමතක කළ යුතු නොවේ.

වර්ජකයන් මහජනයා පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් කටයුතු කර නැති බව ඔවුන් හදිසියේ ගත් තීන්දුවෙන් පෙනේ. මේ වනාහී ඔවුන්ගේ වෘත්තිය ආචාරධර්මවල පරිහානිය පිළිබඳ රටට දැනෙන සිදුවීමකි. සුද්දන් හඳුන්වා දුන් ක්‍රමානුකුල නිල ඇඳුමේ සම්ප්‍රදාය අකුරටම අනුගමනය කරන ඔවුන්, මෙරට දුම්රිය සේවය ආරම්භ කළ අවධියේ රාජකාරියට පැමිණි සුදු ජාතික දුම්රිය නිලධාරීන් සතුව පැවති ආචාර ධර්ම නොපිළිපැදීම කනගාටුවට කරුණකි.

දුම්රිය සේවය යනු මහජන සේවයකි. දුම්රිය සේවකයන් වැටුප් ලබාගත් පමණින් ‘මහජන සේවය‘ ලොප් වන්නේ නැත. එසේ නම් සේව්‍යයා සහ සේවකයා අතර සම්බන්ධතාවට එහා ගිය මහජන වගකීමක් දුම්රිය සේවකයන්ට ඇත. එය නොතකා කටයුතු කිරීම බරපතළ වරදකි.

වැටුප් විෂමතා දුරුකරන ලෙස ඉල්ලීම ඕනෑම වෘත්තිකයකුගේ අයිතියකි. එහෙත් එම අයිතින් දිනාගැනීමේදී තම යුතුකම බල්ලන්ට දැමීම ශිෂ්ටත්වය මැනීමේ අවස්ථාවකි. මේ අශිෂ්ටත්වයේ තරම දුම්රිය වර්ජනය නිසා අතරමං වූ දහස් ගණනක් මගීන්ගේ වේදනාව හා ආවේග පිටාර ගැලූ ආකාරයෙන් පැහැදිලි විය.

මේ වර්ජනයෙන් කරුණු කිහිපයක් අනාවරණය විය. ඉන් පළමුවැන්න බියෙන් තොරව වර්ජනය කිරීමේ නිදහස ලැබී ඇති සමයක එය වල් බූරු නිදහසක් බවට පත් කිරීමට ඇතැමුන් දරන උත්සාහයයි.

දෙවැන්න එකක් පසුපස එකක් බැගින් පැමිණෙන වර්ජන පිටුපස සිටින දේශපාලන අවතාර හොඳින්ම හඳුනාගත හැකි වීමයි.

තෙවැන්න රජය යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට බවට පත් කිරීමේ තීන්දුව ගත් සැණින් වර්ජකයන් තම රැස් වළල්ල අකුලා ගැනීමයි.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස තීන්දු කළ රජය, හදිසි අවස්ථාවකදී සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යුද හමුදා නිලධාරීන් 100 දෙනෙකු ඉන්දියාවට යවා රියදුරු පුහුණුව ලබා දීමේ තීරණයට එළැඹුණේය.

දුම්රිය වර්ජකයන් තම ස්ථාවරය වෙනස් කිරීමේ ඇත්ත හේතුව රජය ඉක්මනින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ගත් තීන්දුව පමණක් නොවන බව කිව යුතුය.

වැටුප් වැඩි කිරීම හා විෂමතා ඉවත් කිරීම දුම්රිය නියාමක, රියදුරු හා ස්ථානාධිපතිවරුන්ට පමණක් අදාළ යැයි නොසිතිය යුතුය. දුම්රිය සේවය එම වෘත්තීන් තුනට සීමා නොවේ.

වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම හැම රාජ්‍ය සේවකයකුටම පොදුය.

වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප රු.10,000 කින් වැඩිකරමින් ඇඟට දැනෙන වෙනසක් කළේය. එහෙත් ඒ තීන්දුව නිසා මූල්‍ය කළමනාකරණය බරපතළ අවුලකට ගියේය. රු.දෙලක්ෂය ඉක්මවා වැටුප් ලබන දුම්රිය වර්ජකයන්ට මේ ගැන අබමල් රේණුවකවත් හැඟීමක් තිබුණාදැයි සැක සහිතය.

මාතෘකා