නව නීතිය සහ ත්‍රිරෝද

නව නීතිය සහ ත්‍රිරෝද

ප්‍රවාහන අමාත්‍යංශය නව තීන්දුවක් ගෙන තිබේ. ඒ ත්‍රිරෝද රථමගින් මගී ප්‍රවාහනය කරන රියදුරුන්ට වයස් සීමාවක් පැනවීමය. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අංක 2081/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අවුරුදු 35ට වැඩි හා අවුරුදු 70ට අඩු පුද්ගලයින්ට පමණක් ත්‍රිරෝද රථවල මගී ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන බවය.

අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ට තවත් නිර්ණායක කිහිපයක් ඇතුළත් කර තිබේ. වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සමඟ රුපියල් දෙදහසක ගාස්තුවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ අවසරය හිමි වේ. ‍ෙමමඟින් ප්‍රවාහනය සඳහා අදාළ ත්‍රිරෝද රථයට අවසර ලබා දෙන විශේෂ පිටසන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

ත්‍රිරෝද රථ වේවා, වෙනත් ඕනෑම දෙයක් වේවා නියාමනයකට යටත් කිරීම වටී. යුද්ධය පැවැති සමයේ යුද ගැටුම් හා බිම්බෝම්බ ඇතුළු පිපුරුම්වලට ගොදුරු වූවාට වඩා පිරිසක් මහා මාර්ගයේ සිදු වන හදිසි අනතුරු නිසා මිය යති. තත්ත්වයෙහි පවත්නා බිහිසුණු බව එයින්ම පෙනේ.

ත්‍රිරෝද රථ මිලියන 1.1ක් පමණ මෙරට ලියාපදිංචි කර ඇති අතර එයින් 75%ක් පමණ යොදාගනු ලබනුයේ මගී ප්‍රවාහනයටය. මේ නිසා මගීන්ගේ ආරක්ෂාවට රෙගුලාසි පැනවීම අත්‍යවශ්‍ය බවට තර්කයක් නැත.

මෙරට වාහන අනතුරුවලින් සියයට 25ක්‌ සිදුවී ඇත්තේ ත්‍රිරෝද රථ නිසාය. 2015 වසරේදී මාරාන්තික රිය අනතුරු 328ක් සිදුවී එයින් මරණ 378ක් සිදුවී තිබේ. 2016 වසරේදී වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 372කි. ඒවායින් මියගිය සංඛ්‍යාව 405කි. පසුගිය වසරේදී යතුරු පැදි අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 1149 ක් වන අතර ත්‍රිරෝද රථ අනතුරුවලින් 376ක් මියගොස් ඇත.

1997-2007 කාලය තුළ මෙරට 40,000 කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මිය ගොස් ඇති අතර ඉන් රුපියල් බිලියන 100 ට වැඩි ආර්ථික විනාශයක් සිදු වී ඇත. වසරින් වසර එය වර්ධනය වී ඇත. දිනකකට රිය අනතුරු නිසා 9 දෙනෙකුට ආසන්න මිනිසුන් සංඛ්‍යාවක් මිය යෑම සුලබ තත්ත්වයක් වී තිබේ. තත්ත්වයෙහි පවත්නා බිහිසුණු බව එයින්ම පෙනේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ඉහළය. ඒ අනුව, 2016 වර්ෂයේදී ත්‍රිරෝද රථ 56,945ක් ලියාපදිංචි කර තිබුණත් 2017 වර්ෂයේ ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව 22,172 කි. මේ වන විට මෙරට ත්‍රිරෝද රථ ලක්ෂ 12ක් පමණ තිබේ.

ඉතා යහපත් ගුණාත්මක තත්ත්වයකින් රියදුරු වෘත්තිය කරන ත්‍රිරෝද රථ රියදුරන් සිටින බවට තර්කයක් නැත. ඔවුන් ඉටු කරන මෙහෙවර ප්‍රශස්තය. එහෙත්, අදාළ වෘත්තියට නිගා දෙන මට්ටමේ සුළුතරයක්ද සිටින බව පිළිගත යුතුමය. ත්‍රිරෝද රථ පැදවීම ගැන මනා පුහුණුවක්‌ නැති පාර්ශ්වවලටද රියදුරු බලපත්‍ර ලැබීම කරණකොටගෙන සමස්ත වෘත්තියට ඔවුහූ නිගා දෙති.

ඇතැමුන් සිය හය හතර නොදත් දරුවාට පවා රිය පැදවීමට අවස්ථාව ලබා දෙයි. ඒ හැරුණු කොට නොයෙකුත් අයථා ක්‍රියා උදෙසා ත්‍රිරෝද රථය යොදා ගන්නා පිරිස් සුලබය. නීති විරෝධී කටයුතු සඳහා ප්‍රමුඛ වාහකයක් බවටත් සමහරක් ත්‍රිරෝද රථ පත්ව තිබේ. ඒ අනුව ගත් විට නව තීන්දුව සාධනීය පියවර රැසකට හේතු වෙතැයි සැලකිය හැකිය.

ලෝකයේ බොහෝ රටවල 'ටැක්සි' සේවාව සපයන්නේ විශ්‍රාමිකයෝය. නැතිනම් කාන්තාවෝ. තරුණ ප්‍රජාව ශ්‍රම බලකාය ලෙස වෙනත් කටයුතුවල යෙදෙමින් ජාතික ආර්ථිකයට සහ පුද්ගලික ගොඩනැඟීම වෙනුවෙන් කැපවෙති. එහෙත් මෙරට ලක්ෂ දොළහක් පමණ වන ත්‍රිරෝද රථවල සිටින ලක්ෂ පහකට වැඩි පිරිස තරුණයෝ. ජාතික ආර්ථිකයට තබා ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්වත් ඔවුන් සුරක්ෂිතද යන්න කල්පනාකොට බැලිය යුතු කරුණක් නොවේද?

මාතෘකා