එළවළු කඳු කුණු විය යුතුද?

එළවළු කඳු කුණු විය යුතුද?

අලුත් අවුරුද්දෙන් පසු අගනුවර සල්පිල් ගිනි ගනිමින් පවතී. එළවළු ගිනි ගණන්ය. බීට්, මෑ, වට්ටක්කා යනාදී හැම එළවුළුවකම මිල අවුරුද්දට පෙර පැවති මිලට වඩා ඉහළ ගොස්ය. මෙය අලුත් අවුරුද්දේ සුපුරුදු අදැකීමයි. එහෙත් මෙවර එහි විශේෂත්වයක් තිබේ. අවුරුද්දට පෙර සිටම එළවළු වෙළෙඳ පොළේ ගැටලුවක් තිබිණි. කොළඹ ඇතුළු නගරවල එළවළු මිළ අහස උසට නඟිද්දී දඹුල්ලේ එළවළු ගොවියෝ තම නිෂ්පාදන කැළෑ මණ්ඩි අයිනේ කුණුවන්නට ගොඩගසා යන්නට වූහ. ඊට හේතුව කිලෝව රුපියල් පහක මිලකටවත් ආර්ථික මධ්‍යස්ථානයට දීමට නොහැකි වීමය.   
ඒ වන විට වියළි කලාපයේ පැවති තත්ත්වය අනුව එළවළු වගාවට යම්බඳු හිතකර වාතාවරණයක් ද විය. එනම් කන්න පහක පමණ කලක් වී ගොවිතැනට ප්‍රමාණවත් පරිදි වැසි පතනයක් නොවූව ද කඩින්කඩ ලැබෙන වැසි එළවළු වගාවට හිතකර වීමය. මේ නිසා ඇතැම් පළාත්වල එළවළු අස්වනු වැඩි විය. එමෙන්ම යාපනයේ එළවළු ද දඹුල්ලට ලැබෙන්නට විය. මෙය කලින් අපේක්ෂා නොකළ තත්ත්වයකි.
යුද්ධය නිමා වීමෙන් කලකට පසුව උතුරේ භාණ්ඩ දකුණට ප්‍රවාහනය කිරීමේ හිතකර වාතාවරණයක් ඇතිවී තිබේ. යහපාලනයට පෙර පැවති බාධා ඉවත් වෙමින් පවතී. උතුර සහ දකුණ අතර භාණ්ඩ ප්‍රවාහනය ද හුවමාරුවද බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙයි. එළවළු වෙළෙඳපොළෙහි ඇතිවී තිබෙන අර්බුදය එහි එක් අතුරු පලයකි. 
එළවළු තොග පිටි කුණුවන්නට ඉඩදී බලා සිටින ගොවීන්ගේ තත්ත්වය කණගාටුදායකය. ඔවුහූ බැංකුවලට ද ව්‍යාපාරිකයන්ට ද ණය වී සිටිති. ඊළඟ කන්නය ගොවිතැන් කළ හැකිවන්නේ මේ කන්නයෙහි ණය තුරුස් ගෙවීමෙන් පසුවය. ණය චක්‍රයෙන් ගැලවීමේ ශක්තියක් තවම ඔවුනට ලැබී නැත.මෙවැනි අවස්ථාවකදී ගැටලු කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක් නොතිබීම බරපතළ අඩුපාඩුවකි. 
කිලෝමීටර් දෙසීයකට අඩු දුරක පිහිටි නගරයක එළවළු කිලෝවක මිළ රුපියල් සීය ඉක්මවන විට ගොවිබිමෙහි ඒ එළවළුව රුපියල් පහක මිලකටවත් අලෙවි කරගත නොහැකි වීම බරපතළ ඛේදවාචකයකි. ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි විය.එළවළු සහ පළතුරු ගබඩා කර තැබීමේ ශීතාගාර පහසුකම් මෙරට නොමැත. ඒ ගැන අවධානයක්ද නොවේ. එළවළු ප්‍රවාහනයේ ඇති අවිධිමත් බව නිසා විශාල ප්‍රමාණයක් තැළී පොඩිවී ඉවතට යයි. එසේ ඉවත්කරන එළවළුවල ද වටිනාකම එක්කර එළවළු විකිණීම නිසා ඒ බර ද පාරිභෝගිකයාගේ හිස මතට කඩා වැටේ. 
අදාළ කන්නයෙහි වගා කළ යුතු එළවළු වර්ග මොනවාදැයි ගොවියා දැනුවත් කිරීමේ නියාමනයක් නැති නිසා ඇතැම් කන්නවල එකම එළවළුවක අධිඅස්වනු වෙළෙඳපොළට ලැබෙයි. කෘෂි ව්‍යාප්ති සේවයෙහි අගය දැනෙන්නේ එවිටය. එළවළු වගාවෙහි විවිධාංගීකරණයක අවශ්‍යතාව තදින් දැනේ. යාපනයේ එළවළු ගොවියා තම නිෂ්පාදන අලෙවි කරගැනීමේ ගැටලුවට මුහුණ දෙන විට දකුණේ ගොවියා තරම් අසරණ නොවෙයි. ඊට හේතුව ඔවුන් කෘෂි රසායන අධි භාවිතයෙන් වැලකීමය. මේ නිසා නිෂ්පාදන වියදම අඩුය. දකුණේ ගොවියා ඔවුන්ගෙන් ඉගෙන ගත යුතු පාඩම ද එයයි. එළවළු ඇතුළු ගොවි නිෂ්පාදන අලෙවිකරණයේ ගැටලු නොවිසඳන තුරු ගොවීන් ණයකරුවන් වීමේ සහ දිවි නසා ගැනීමේ විෂම චක්‍රයෙන් මුදවාගත නොහැකිය. ඒ සඳහා ඇති එකම මඟ වන්නේ වෙළෙඳ, කෘෂිකර්ම, ඉඩම්, සමුපකාර වශයෙන් බෙදා ඇති විෂයයන්ට අදාළ ඇමතිවරුන් එක්ව ගොවීන්ගේ, අලෙවිකරුවකරුවන්ගේ, කෘෂි අලෙවි විශේෂඥයන්ගේ,පාරිභෝගිකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමය.

මාතෘකා