දහම් පාසල් නිසා ටියුෂන්වලට වැට බැඳීම

දහම් පාසල් නිසා ටියුෂන්වලට වැට බැඳීම

ඉරිදා දිනවල ටියුෂන් පන්ති පැවැත්වීම නතර කිරීමේ යෝජනාව පැති කිහිපයකින් සංවාදගත කළ යුත්තකි. අධ්‍යාපනය වෙළෙඳාමක් කරගත් පාර්ශ්ව මෙයින් කලබලයට පත්විය හැකිය. එමෙන්ම ඉරිදා දහම් පාසල්වලට ළමයින් දක්කාගෙන යන වැඩිහිටි පාර්ශ්ව මෙයින් අමන්දානන්දයට පත්වනු නිසැකයි. දැනටම ඒ බැව් පෙනේ.   
ටියුෂන් අධ්‍යාපනය සඳහා නියාමනයක අවශ්‍යතාව පැන නැඟුණේ බොහෝ කලකට පෙර සිටය. එය අධ්‍යාපන තීරකයන් සතු බරපතළ වගකීමකි. හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනද මේ සඳහා උත්සාහයක් දැරීය. ටියුෂන් ගුරුවරයකු වූ ඔහුද ඒ මාෆියාවට බියෙන් අවසන පල්ලම් බැස්සේය. මෙවරද සුපුරුදු පරිදි ඒ මාතෘකාව ඇදී ඇත්තේ ඉරිදා දහම් පාසල්වලට ළමයින් යා යුතුය යන නිගමනය රජයේ නිගමනය බවට පත් වීම ඔස්සේය. 
දහම් පාසල්වලට ළමයින් යැවීමට ටියුෂන් බාධාවක් වී ඇත යන නිගමනය අනුව ඉරිදා පන්ති තහනමක් ගෙනෙන්නට සුදානම් බව පෙනේ. එය බරපතළ වැරදි නිගමනයකි. දහම් පාසල් අධ්‍යාපනය හා සදාචාරවත් මිනිසකු බිහිවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. දහම් පාසලෙන් ගිරවුන් මෙන් දහම් පාඨ කටපාඩම් කිරීමෙන් බලාපොරොත්තු වනුයේද දහම් දැනුම, දහම් විභාග මිස හදවත යහපත් මිනිසකු බිහි කිරීම නොවේ. එය ද ටියුෂන් අධ්‍යාපනයේ අනික් පැත්තය. එනම් එකම කාසියේ දෙපැත්තය. ටියුෂන් නියාමනය කිරීමේ අවංක වුවමනාවක් රජයට තිබේ නම් පළමු ව කළ යුත්තේ සුදුසුකම් නොමැතිව, ජනප්‍රිය අධ්‍යාපන කඩ පවත්වමින්, දුප්පත් දෙමාපියන්ද ගසාකමින්, පාසලෙන් දරුවන් ලැබු ලකුණු ද තමන්ගේ ගොඩට දමාගන්නා වසලයන් එලවා දැමීමේ නීතියක් ගෙන ඒමය. දෙවැනි පියවර පාසල් ගුරුවරුන්ගේ වැටුප් සාධාරණ ලෙස ඉහළ නංවා ටියුෂන් පන්ති පැවැත්වීම ඔවුන්ට තහනම් කිරීමය. 
ටියුෂන් පන්තියට තම පාසලේ දරුවන් ඇද ගැනීම සඳහා අශිෂ්ට අයුරින් දරුවන්ට බලපෑම් කරන ගුරුවරුන් දුලබ නැත. ඒ අතර නිදහස් අධ්‍යාපනයේ අරමුණ අනුව කටයුතු කරමින් තම දිවි දෙවැනි කොට රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් වැටුපෙන් පමණක් සෑහීමකට පත්වෙමින් අධ්‍යාපනය මුදලට නොවිකුණන ගුරු පරපුරක් ද සිටින බව අමතක කළ යුතු නොවේ. දිරිගැන්විය යුත්තේ ඔවුන්ය. 
නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට පෙර එනම් 1930 දශකයේදී ද රජයේ පාසලක ගුරුවරයකු ලෙස සේවයට බැඳීමේදී රෙගුලාසිවලට අත්සන් තැබීමට සිදු විය. පාසල් කාලයෙන් පසු මුදල් අයකර ඉගැන්වීම හා වෙනත් ව්‍යාපාරවල යෙදීම තහනම් විය. ඒ නීති රෙගුලාසි කිසිම අවස්ථාවක අහෝසි වී ද නොමැත. මේ නිසා අධ්‍යාපන ශික්ෂාව පිළිබඳ දේශීය සම්ප්‍රදාය පළමුව හඳුනාගත යුතුය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ ආචාර්ය 
සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපනයේ අරමුණු හඳුනාගෙන එය යාවත්කාලීන කිරීමය. ඒ හැර වෙන මඟක් නැත. නිදහස් අධ්‍යාපන පනතෙහි අරමුණු සාධනය කර ගැනීම සඳහා ආගම විෂයයක් ලෙස ඉගැන්වීම අනවශ්‍ය බව ද, ආගම ඇදහීම පුද්ගලික කටයුත්තක් බව ද කන්නන්ගර මහතාගේ මතය විය. 
 කන්නන්ගරගේ දුරදක්නා නුවණ වෙනුවට ආගම්වාදීන්ගේ මතය ජයගත්තේය. නිදහස් අධ්‍යාපනය කඩතොළු විය. එහෙත් එහි ඇතැම් සාරාර්ථ තවමත් නොනැසී පවතී. වත්මන් සමාජය බිඳී නොවිසිරී පැවතීමේ පදනමෙහි සාධක අතර නිදහස් අධ්‍යාපනය ද ඇත. වෛද්‍ය වෘත්තිය සහ ගුරුවෘත්තිය යන දෙකට ම අදාළ ආචාර ධර්ම හා නීති තිබේ. වෛද්‍යවරුන්ට සේවා කාලයේදී චැනල් කළ නොහැකිය; ගුරුවරුන්ට තම සේවා කාලයේදී හා ඉන් පසුවත් ව්‍යාපාරවල යෙදිය නොහැකිය. මේවා තවමත් අහෝසි වී නැත. 
දහම් පාසල්වලට ළමයින් අඩුවේය බියෙන් ඉරිදා ටියුෂන් පන්තිවලට තහංචි දැමීමට යෑම පසුගාමී යල්පැන ගිය චින්තනයක ප්‍රතිඵලයකි. මෙය යහපාලන රජයේ තීන්දුවක් යැයි කීමට තවමත් ඉක්මන් විය යුතු නැත. මන්ද යත් ආණ්ඩුවේම යම් පාර්ශ්වයක් යෝජනාවක් ගෙනා පමණින් එය රටේ නීතිය බවට පත් නොවන බැවිනි. යහපාලන ආණ්ඩුව අඬුව තියෙද්දී අත පුච්චාගන්නා මට්ටමට තවමත් පිරිහී නොමැත. ආගම් පිස්සුව සහ ආණ්ඩුකරණය යනු එකන් නොව දෙකකි. ඒ බැව් තේරුම් බේරුම් කර ගැනීමේ දැක්මක් ආණ්ඩුවට නැතැයි අපි විශ්වාස නොකරමු.

මාතෘකා